තංගල්ලේ අයිස් ලොරිය හමුවූ නිවසේ සිටි තිදෙනා මියගිය හේතුව හෙළිවෙයි
September 23, 2025 05:28 pm
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සොයා ගත් නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයින් බීර සහ හෙරොයින් අධික ලෙස ශරීර ගත වීමෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
අදාල මළ සිරුරු සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය, තංගල්ල මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුවන් නානයක්කාර මහතා විසින් සිදු කළේය.
එහි දී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයින් බීර සහ හෙරොයින් අධික ලෙස ශරීර ගත වීමෙන් මියගොස් ඇති බවය.
මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා විසින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ඊයේ(22) උදෑසන පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු සොයාගනු ලැබීය.
එමෙන්ම අදාළ නිවසේ සිටි තවත් පුද්ගලයෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.
පසුව සිදුකළ විමර්ශන වල දී ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන දසදහසකට ආසන්න බව පොලිසිය පැවසීය.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ අදාල මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සැගව සිටින අපරාධ රැසකට සම්බන්ධ උනාකූරුවේ ශාන්ත නැමැත්තාට අයත් බවය.
අදාල මත්ද්‍රව්‍ය තොගය පෙරේදා දිනයේ කුඩාවැල්ල, මාවැල්ල වෙරළ ප්‍රදේශයට බෝට්ටු දෙකක් ආධාරයෙන් මෙරටට රැගෙනවිත් ඇත.
එහිදී එම මත්ද්‍රව්‍ය තොගය ඒ ආසන්නයේ පිහිටි පාලු නිවසක පළමුව ගබඩා කර තිබු බවට ද තොරතුරු අනාවරණව වී ඇති බව සදහන් වෙයි.
පසුව ලොරි රථයක් අධාරයෙන් අවස්ථා දෙකක දී එම මත්ද්‍රව්‍ය තොගය තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අදාල පුද්ගලයින් මියගොස් සිටි නිවස වෙත රැගෙන විත් තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර රෝහලේ දී මියගිය පුද්ගලයාගේ පුත්‍රයින් දෙදෙනා, මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා සහ එක් ලොරි රථයක රියදුරෙකු ද වන බව පොලිසිය පැවසීය.
මේ අතර ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු සහ එහි ලියාපදිංචි හිමිකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැදවුම් නියෝග ලබාගෙන තිබේ.