ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක්
September 23, 2025 03:14 pm
වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය සිදු කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමඟ ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර තිබේ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි, Carmen Moreno මැතිනිය විසින් මෙම ප්‍රදාන ගිවිසුම නිල වශයෙන් අද (23) අත්සන් කරන ලදි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ යුරෝපා සංගමය ඒකාබද්ධව සකස් කරන ලද මෙම ව්‍යාපෘතිය යුරෝපා සංගමය විසින් සපයනු ලබන යුරෝ මිලියන 8ක ප්‍රදානය, මඟින් මූල්‍යනය කරනු ඇතැයි විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හායනය වූ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම, ඉලක්කගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ තිරසාර ඉඩම් පරිහරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මගින් ජෛව විවිධත්ව සංරක්ෂණයට මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇත.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සඳහා වැඩිවෙමින් පවතින අවශ්‍යතාව සපුරාලමින් පාරිසරික ආරක්ෂාවටත්, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමටත් දායක වන බව වාර්තා වෙයි.
මෙම ව්‍යාපෘතිය, රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය වන "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" හි අවධාරණය කර ඇති ආර්ථික සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය අතර සමතුලිතතාවය ඇති කිරීමේ කඩිනම් අවශ්‍යතාවය සමඟ සමපාත වේ.
පරිසර හිතකාමී සහ සමතුලිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයන් ඉලක්ක කළ ප්‍රතිඵල අත්කර දී නොමැති අතර යුරෝපා සංගමය සමඟ ඇති මෙම හවුල්කාරිත්වය එම ගමන්මඟ ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.