දිනක් තුළ ලොරි තුනකින් ඇල්ලූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය
September 22, 2025 04:50 pm
තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය තිබී හමු වූ ලොරි තුනේ තිබූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ගිනිඅවි සංඛ්‍යාව පොලීසිය විසින් දැනුම් දී තිබේ.
ඒ අනුව, හෙරොයින් කිලෝග්‍රෑම් 245ක්, අයිස් කිලෝග්‍රෑම් 380ක්, පිස්තෝල 05ක් සහ ටී -56 ගිනි අවියක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත විශාල ලොරි රථයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණි.
එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද (22) උදෑසන හමුවු අතර ඒ ආසන්නයේ නවතා තිබිය දී මෙම ලොරි රථය හමුවුණි.
මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අදාළ නිවස අසල නවතා තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබුණි.
මේ අතර, අද දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන්ම සොයා ගැණුනි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවය.
අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබුණි.