නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ 78ක් නාවික හමුදා භාරයට
September 20, 2025 07:22 pm
දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ සැකකරුවන් 78 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
එමෙන්ම ඩිංගි යාත්‍රා 35ක් සහ බහු දින ධීවර යාත්‍රාවක් ද මෙහිදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
නීති විරෝධී ධීවර ආම්පන්න සහ පන්න ක්‍රම භාවිතයෙන් සිදු කරණු ලබන ධීවර කටයුතු හේතුවෙන්, සාගර පරිසර පද්ධතියට සිදුවන අහිතකර බලපෑම වැළැක්වීම සඳහා සහ නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම් සිදු කරයි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය කල්ලරාව, වලෙයිතෝට්ටම්, කොකනට් පොයින්ට්, ෆ්ලෑන්ස්ටාෆ් පොයින්ට්, නොර්වේ අයිලන්ඩ්, බොල්ඩර් පොයින්ට්, කෝකිලායි, රෙඩ් රොක්, තුඩුව, විලාවත්ත, ජයනගර් සල්ලිමුනායි, කුච්චවේලි, අඩුක්කුපාඩු සහ කින්නියා යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම යාපනය චුන්ඩිකුලම් හා කදෙයිකාඩු මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සහ ගිණිකොන නාවික විධානය මඟින් කරෙයිතිව් සිට නින්දවූර් දක්වා මුහුදු ප්‍රදේශය ආවරණය වන ලෙසද මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
කෙසේ වෙතත් නාවික හමුදාව සිය භාරයට ගත් සැකකරුවන්, තහනම් ධීවර ආම්පන්න, පුපුරණ ද්‍රව්‍ය සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, සාම්පූර්, වෙරුගල්, කොබේ, කුච්චවේලි, කින්නියා, මුලතිව්, මඩකලපුව, කල්මුනේ සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.