තැපෑල ගොඩගන්න ලබන අයවැයේදීත් සැලකිය යුතු මුදලක් - අමාත්‍ය නලින්ද 

තැපෑල ගොඩගන්න ලබන අයවැයේදීත් සැලකිය යුතු මුදලක් - අමාත්‍ය නලින්ද 

September 20, 2025   06:49 pm

පවතින තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල නවීකරණය සඳහා වත්මන් රජය මුදල් වෙන් කරනවා සේම එළැඹෙන අයවැය මගින්ද තැපැල් සේවාව නගා සිටුවීම සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 4.23ක ඇස්තමේන්තුගත වියදමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරි කොලණිය උප තැපැල් කාර්යාල නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (20) එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජනතා බදු මුදල් ජනතා සුඛවිහරණය සඳහාම සැළසුම් සහගතව යොදවන බවය.

එමෙන්ම නව තැපැල් කාර්යාල සඳහා මුල්ගල තැබූ අවස්ථාවේ සිටම ගොඩනැගිලි ඉදිකිරීම් ආරම්භ වන බවත් වර්තමාන රජය තබන මුල්ගල් පැලවන මුල්ගල් නොවන බවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

පසුගිය සමයේ තැපැල් සේවාවට අවශ්‍ය භෞතික සම්පත් ප්‍රමාණවත් තරම් ලබා නොදීම හේතු කරගනිමින් තැපැල් සේවකයින් සේවා කටයුතු බිඳවැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාම සඳහා තම පෞද්ගලික තාක්ෂණික උපකරණද යොදා ගත් බව පැවසූ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ ලොරි රථ, කැබ් රථ මෙන්ම ලැප්ටොප් සහ ඩෙක්ස්ටොප් පරිගණක අලුතින් ලබා ගැනීම සඳහා රජය මේ වන විට විශාල මුදලක් ද වෙන් කර ඇති බවය.

එමෙන්ම විවිධ ශ්‍රේණිවල කාර්ය මණ්ඩල බඳවා ගැනීමටත් කාර්ය මණ්ඩල ශ්‍රේණි උසස් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.