මියගිය නීතීඥයෙකුගේ නිවසක තිබී අවි ආයුධ තොගයක් හමුවෙයි

මියගිය නීතීඥයෙකුගේ නිවසක තිබී අවි ආයුධ තොගයක් හමුවෙයි

September 19, 2025   05:01 pm

රත්නපුර ගොළුවාවිලවත්ත, කොස්පැලවින්න ප්‍රදේශයේ නිවසක තනිව වාසය කරමින් ජීවත් ව සිටියදී හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බවට සැක කෙරෙන 73 හැවිරිදි නීතීඥයෙකුගේ නිවසින් මෙරට හා විදේශ රටවල නිෂ්පාදිත බවට සැක කෙරෙන ගිනිඅවි රැසක් සොයා ගැනීමට රත්නපුර පොලීසියේ නිලධාරීන්ට හැකිව තිබේ.

රත්නපුර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාට ලැබී තිබු තොරතුරක් මත රත්නපුර මූලස්ථාන පොලිස් අධිකාරී ප්‍රසන්න සුමනසිරි මහතාට මේ සම්බන්ධව දැන්වීමත් සමග එම තොරතුරු අනතුරුව පසුගිය 17 වැනි දින ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමකට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ නිලධාරීන් කණ්ඩායම නීතීඥවරයා මියගොස් සිටි නිවස පරීක්ෂා කිරීමේදී අදාළ ගිනිඅවි කොටස් හා ජීව පතුරම් රැසක් සොයාගෙන ඇත.

ඒ අනුව බෝර 12 තුවක්කුවක්, රිපීටර් වර්ගයේ තුවක්කුවක්, බෝර 12 ගිනිඅවිවල මුල් කොටස් 6ක්, බැරල් 11, කුඩා ගිනිඅවි 2ක්, බෝර 12 සහ 16 තුවක්කු සඳහා භාවිත කරන අලුත්ම උණ්ඩ 440ක් ඇතුළු ගිනි අවි රැසක් හා ගිනි අවි කිහිපයක කොටස් රැසක් මේ වන විට එම නිවසින් සොයාගත් බව රත්නපුර පොලීසිය පැවසීය.

රත්නපුර මූලස්ථාන පොලිස් අධිකාරී ප්‍රසන්න සුමනසිරි මහතා පැවසුවේ මෙම ගිනිඅවි යම් යම් අපරාධ සඳහා ලබා දුන්නේද යන්න මෙන්ම මෙම ගිනිඅවිවලට අමතරව තවත් ගිනි අවි යම් යම් කණ්ඩායම්වලට ලබා දී ඇත්දැයි යන්න පිළිබව පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවය.

එමෙන්ම මෙම ගිනිඅවි තුළින් කිහිපයක් මෙරට නිෂ්පාදිත බවට සැක කරන බැවින් ඒවා මොහු විසින් හෝ වෙනත් කණ්ඩායස් යොදවා නිෂ්පාදනය කළාද යන්න සම්බන්ධවත් මේ වන විට පරීක්ෂණ කටයුතු සිදු කෙරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.