ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්

September 18, 2025   09:48 pm

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කක් හිමිවිය.

කෙසේ නමුත් එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට නොහැකි වුවත් ශ්‍රී ලංකාව ලකුණු 101ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රැස්කර තිබුණහොත් ඔවුන්ට සුපිරි 4ට සුදුසුකම් ලබාගැනීමට හැකිවේ.

එම ඉලක්කය හඹායාමට හැකිවුවහොත් ශ්‍රී ලංකාවට පහසුවෙන්ම සුපිරි 4 වටයට පිවිසෙන අතර, බංග්ලාදේශයට එම වටයට පිවිසීමට මඟ විවර වේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක රශිඩ් ඛාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

කෙසේ නමුත් නුවන් තුෂාරගේ ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ සැනසිලිදායක ආරම්භයක් ලබාගැනීමට ඔවුන් නොහැකි විය.

පවර්ප්ලේ අවස්ථාවේ දී ඇෆ්ගනිස්තානයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 43ක් පමණක් වූ අතර, එහිදී මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම දැවීගියේය.

මෙම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කියූ නුවන් තුෂාර, දෙදෙනෙකුම පන්දුව කඩුල්ල වෙත යොමුකර දවාගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව තරගයේ 12වන (11.3) පන්දුවාරය ක්‍රියාත්මකවද්දී 71/5ක් ලෙසින් සටහන් වූ අතර, තරගයේ 17වන පන්දුවාරය අවසන් වනවිට එය සටහන් වූයේ 114/6ක් ලෙසින්ය.

කෙසේ නමුත් අවසන් පන්දුවාර ත්‍රිත්වයට පමණක් ඔවුන් ලකුණු 55ක් රැස්කර තරගකාරී ලකුණු පුවරුවක් දක්වා සිය ඉනිම රැගෙන ආවේය.

එහිදී ඇෆ්ගනිස්තාන පසුපෙළ වර්ණවත් කළ 40 හැවිරිදි මොහොමඩ් නබි ලකුණු 60ක් රැස්කිරීමට සමත් විය.

ඉන් අවසන් පන්දුවාරය යොමුකළ දුනිත් වෙල්ලාලගේට එරෙහිව ඔහු හයේ පහර 5ක් එල්ල කළේය.

පන්දු 22කින් ගොඩනැගුණු නබිගේ ඉනිමෙහි හයේ පහර 6ක් හා හතරේ පහර 3ක් අන්තර්ගත විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිතර වූ නුවන් තුෂාර ලකුණු 18කට කඩුලු 4ක් සිය පන්දුවාර 4 තුළදී දවාගත්තේය.

මෙහිදි දුනිත් වෙල්ලාලගේට එරෙහිව ඇෆ්ගනිස්තාන පිතිකරුවන් පන්දුවාර 4 තුළදී ලකුණු 49ක් රැස්කිරීමට සමත් වුවත්, ඔහු පළමු පන්දුවාර තුනටම ලබාදී තිබුණේ ලකුණු 17ක් පමණි.