වෑන් රථය බලෙන් පැහැරගත් කල්බදු සමාගමට නියෝගයක්

වෑන් රථය බලෙන් පැහැරගත් කල්බදු සමාගමට නියෝගයක්

September 18, 2025   08:51 pm

කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ලීසිං සමාගමක් විසින් පැහැරගත් වෑන් රථයක් යළි එහි ලියාපදිංචි හිමිකරුටම ලබාදෙන්නැයි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මගින් වැඩිදුරටත් සඳහන් කළේ, කල්බදු ගෙවීම පැහැරහැර ඇති අවස්ථාවක වුවත් වාහනයක් පැහැර ගැනීමට කල්බදු සමාගමකට කිසිඳු නීතිමය බලයක් නොමැති බවය.

ඉකුත් අගෝස්තු මාසයේදී නිට්ටඹුව පල්ලේවෙල ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් මාර්ගය හරස්කර එහි ගමන් කරමින් තිබූ වෑන් රථයක් නවතා එය පැහැර ගැනීමකට ලක්කර තිබුණි.

එහිදී එම පිරිස වාහනයේ හිමිකරුට දන්වා තිබුණේ ඔවුන් ලීසින් ආයතනයක සේවය කරන බවත් කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් වෑන් රථය ගෙන යන බවත් ය.

පසුව වාහනයේ හිමිකරු අත්තනගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු ගොනු කළේ අදාළ ලීසිං සමාගම බලහත්කාරයෙන් සිය වාහනය පැහැරගත් බවට චෝදනා කරමිනි.

මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසු වාහනය පැහැරගත් පුද්ගලයින් දෙදෙනෙකු බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය එහිදී නියෝග කර තිබුණි.

මෙවන් පසුබිමක නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව නැවත වතාවක් ඊයේ කැඳවූ අතර එහිදී අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේ වාහනය එහි ලියාපදිංචි අයිතිකරු වෙත මුදාහරින ලෙසය.

මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, කිසිඳු කල්බදු සමාගමකට කල්බද වාරික නොගෙවූ පසුබිමක පවා රථවාහන පැහැරගෙන යා නොහැකි බවය.

එසේම යම් පුද්ගලයෙක් කල්බදු වාරික ගෙවීම පැහැර හරින්නේ නම් ඒ පිළිබඳව දිසා අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේය.

කල්බදු වාරික ගෙවීම සිදුනොවන අවස්ථාවලදී ලීසිං සමාගම් සිදුකරනු ලබන්නේ, වාහන පැහැරගෙන යාමයි. 

ඒ සඳහා ඔවුන් විවිධ කණ්ඩායම්වලට කොන්ත්‍රාත් ලබාදෙන අතර ඇතැම් අවස්ථාවලදී පහරදීම් පවා වාර්තා වේ.

පසුගිය වසරේ කෝට්ටේ ප්‍රදේශයේදී කල්බදු ගෙවීම් අතපසු වූ ත්‍රීරෝද රථයක හිමිකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පැහැරගෙන ගොස් පහරදීම මතභේදාත්මත තත්ත්වයක් නිර්මාණය කෙරිණි. 

කෙසේ වෙතත්, කල්බදු මූල්‍යකරණ පනත ප්‍රකාරව කල්බදු ලබාගත් අය දිගින් දිගටම අදාළ වාරික ගෙවීම පැහැරහැර තිබුණත් ලීසිං ආයතනයකට එකවර එම වාහනය අත්පත්කර ගැනීමට නීතිමය අවසරයක් හිමි වන්නේ නැත.

එවන් අවස්ථාවක පළමුව, ලීසිං වාරික ගෙවීම පැහැරහරින්නන් වෙත අදාළ ආයතනයෙන් ගෙවීමට ඇති හිඟ මුදල සම්බන්ධයෙන් දැනුම්දීම් කළ යුතු වේ.

එසේ දැන්වීම් කළ පසුත් වාරික ගෙවීම පැහැරහරින්නේ නම්, දෙපාර්ශවය අතර ඇතිකර ගත් එම කල්බදු ගිවිසුම අහෝසි කිරීම සඳහා, දැන්වීම් පළකර දිසා අධිකරණය වෙත කරුණු වාර්තා කළ යුතුය.

අනතුරුව වාහනය ලබාගැනීම සම්බන්ධයෙන් අතුරු නියෝග ලබාගැනීම හා නීති කෘත්‍ය පවත්වාගෙන යාම ආදී සියල්ල අධිකරණ නියෝග ප්‍රකාරව සිදුකළ යුතුවේ.