විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹුවන් වෙනුවෙන් දැරූ වියදම්

විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹුවන් වෙනුවෙන් දැරූ වියදම්

September 12, 2025   07:57 pm

2021 වසරේ සිට 2025 වසර දක්වා විශ්‍රාමික ජනාධිපතිවරුන් හා වැන්දඹූ භාර්යාවන් සඳහා දරන ලද වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

එහිදී 2021 වසරේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් වියදම් ලෙස රුපියල් හතලිස් එක්ලක්ෂ හැටහයදහස් තිස්තුනක මුදලක්ද, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් එක්කෝටි හැටහත් ලක්ෂ පනස් අටදහස් අටසිය තිස් හතරක මුදලක්ද ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් රුපියල් විසිහතර ලක්ෂ අනු එක්දහස් දෙසිය හතලිස් පහක මුදලක්ද වැයවී ඇති බව වාර්තා වේ.

එමෙන්ම 2022 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් හාරකෝටී විසි හත්ලක්ෂ හැට හතරදහස් අටසිය පනස් නවයක මුදලක්, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රුපියල් එක්කෝටි අසූ අටලක්ෂ අනූ නවදහස් දෙසිය දහනවයක මුදලක්, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් හැට හත් ලක්ෂ අනූ එක් දහස් නවසිය හතලිස් හතක මුදලක් වැයවී ඇත.

2023 වසරේදී එම පිරිස සඳහා පිළිවෙළින් රුපියල් එක්කෝටී අසූලක්ෂ හැටපන්දහස් නවසිය හැත්තෑදෙකක්, රුපියල් දෙකෝටි අසූ එක්ලක්ෂ විසිදහස් දොලහක්, රුපියල් දෙකෝටි විසි පන්ලක්ෂ හැටපන්දහස් පන්සිය දහනවයක්, රුපියල් එක්කෝටි අසූ නව ලක්ෂ හැත්තෑදහස් විසි නවයක් සහ රුපියල් අසූ ලක්ෂ අසූ හත්දහස් හැට දෙක් ලෙස සටහන්ව තිබුණි.

එමෙන්ම 2024 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් හයකෝටි දහසය ලක්ෂ හැටහතර දහස් නවසිය තිස් හයක මුදලයක්, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රුපියල් එක්කෝටි අසූ පන්ලක්ෂ හැටනවදහස් හාරසිය දහ අටක මුදලක් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විසි පන්ලක්ෂ තිස් දහස් හාරසිය පනස් හතක මුදලක් වැය වී තිබේ.

2025 වසරේ ජනවාරි පළමුවැනිදා සිට ජුනි 30වනදා දක්වා කාලය තුළ එම වියදම් ලෙස පිළිවෙළින් රුපියල් දොලොස් ලක්ෂ දහනවදහස් හයසිය පනස් පහක්, රුපියල් පනස් නව ලක්ෂ අනූ නව දහස් තුන්සිය අටක්, රුපියල් හතලිස් නව ලක්ෂ හයදහස් අටසිය තිස්තුනක්, රුපියල් හතලිස් එක්ලක්ෂ පනස් තුන්දහස් නවසිය අසූ හතක්, රුපියල් එක්කෝටි පනස් නව ලක්ෂ අසූඑක්දහස් අටසිය හැට දෙකක් සහ රුපියල් හත්ලක්ෂ හතලිස් එක්දහස් අටසිය දහයක් ලෙස වැයවී ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසේ අලුත්වැඩියා සඳහා 2021 වසරේ සිට 2023 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් රුපියල් හතලිස් හත්කෝටි විසි පන්ලක්ෂ විසි නව දහස් හැත්තෑ තුනක් මුදලක් වැය කර ඇති අතර 
2023 වසරේදී එම නිල නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා ජනාධිපති කාර්යාලය දරා ඇති වියදම රුපියල් තුන්කෝටි හැත්තෑ පන් ලක්ෂ හැට එක්දහස් එකසිය හැට පහකි.

ඒ අනුව එම කාල සීමාව තුළ පමණක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ අලුත්වැඩියා සඳහා දරා ඇති මුලු වියදම රු.පනස් එක්කෝටි අනූ දහස් දෙසිය තිස් අටක් බව වාර්තා වේ.