eCourt  ව්‍යාපෘතියේ පළමු අදියර ඇරඹේ

eCourt ව්‍යාපෘතියේ පළමු අදියර ඇරඹේ

September 12, 2025   06:28 pm

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ කටයුතු වේගවත් කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් අධිකරණ eCourt ව්‍යාපෘතියෙහි පළමු අදියර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේදී අද (12) පස්වරුවේ පැවති මෙම වැඩසටහන සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාද සහභාගී විය.

අධිකරණ සේවාවවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා මහජනතාවට ඵලදායී අධිකරණ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහත්වරුන් අතින් සිදු විය.

අධිකරණ කාර්යල තුළ සිදුවන දුෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම හා අධිකරණයට පැමිණෙන ජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුව ලබාදීම ඩිජිටල්කරණ වැඩසටහනෙහි අරමුණ වේ.

පළමු පියවර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත අතර, ඉන්පසුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා මහෙස්ත්‍රාත් අධිකරණ සහ සෙසු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතව තිබේ.

ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලදී.

අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම පසුගියදා සිදු වු අතර, ඒ යටතේ කොළඹ අවට අධිකරණ කිහිපයක් සඳහා ගෙව්ම් යන්ත්‍ර බෙදාදීම ද මෙහිදී සිදු විය.