අමෙරිකා - ද. කොරියානු ආයෝජනවලට රතු එළියක් ?
September 12, 2025 05:35 pm
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ, අමෙරිකාව තුළ නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීමයි.
දැනට විදේශ රටවල නිෂ්පාදනය කර අමෙරිකාවට අපනයනය කරන මෝටර් රථවල සිට පරිගණක චිප් දක්වා භාණ්ඩ අමෙරිකාව තුළ නිෂ්පාදනය කරන්න ලෙස ට්‍රම්ප් පරිපාලනය විදේශ සමාගම්වලට බල කර සිටී.
අමෙරිකානුවන්ට රැකියා අවස්ථා ඉහළ නැංවීමත් එහි අරමුණක් විය හැකියි.
එහෙත් ජනපති ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාව තුළ ක්‍රියාත්මක වන එම විදේශ සමාගම්වල නිෂ්පාදනාගාර මෑතක සිට විවිධ ගැටලුවලට මුහුණ දෙයි.
එම දැවැන්ත කම්හල්වල සේවය කළ සංක්‍රමණිකයන් වැටලීමටත් පිටුවහල් කිරීමටත් අමෙරිකානු සංක්‍රමණික බලධාරීන් පියවර ගැනීම එවැනි එක් ගැටලුවකි.
ඒ වගේ බරපතළ ගැටලුවකට මුහුණ දුන් ආයතනයක් වන්නේ, අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ පිහිටි දකුණු කොරියානු යුන්ඩයි මෝටර්ස් සහ LG බැටරි නිෂ්පාදන කම්හලයි.
මෙම දැවැන්ත නිෂ්පාදනාගාරයේ පසුගිය සතියේ සිදුකළ වැටලීමකදි අමෙරිකානු සංක්‍රමණික බලධාරීන් එහි සේවය කරමින් සිටි විදේශිකයන් 450 දෙනෙකු පමණ අත්අඩංගුවට ගනු ලැබීය.
එහි 300 දෙනෙකු පමණ රඳවා ගැනීමටත් කටයුතු කළේය.
විශේෂත්වයක් තමයි ඔවුන් එම කම්හලේ සේවය කළ දකුණු කොරියානු ජාතිකයන් වීමයි.
මෙම සේවකයන් ICE බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාංචු දමා රැගෙන යන වීඩියෝවක් ද ප්‍රකාශයට පත්වීම දකුණු කොරියාව තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතුවුණි.
ඔවුන් මුදාගැනීම සඳහා දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංටත් මැදිහත්වීමට සිදුවුණි.
කෙසේ හෝ ඒ සඳහා අමෙරිකානු බලධාරීන් එකඟ කරවාගත් පසු විශේෂ ගුවන් යානයක් අමෙරිකාවට යැවීමටත් දකුණු කොරියාව පියවර ගනු ලැබීය.
මේ අතර, ජනපති ට්‍රම්ප් එම දකුණු කොරියානු සංක්‍රමණිකයන්ට තවදුරටත් අමෙරිකාවේ රැඳී සිටීම සඳහා අවස්ථා දෙන බව ප්‍රකාශ කළේය.
ඔවුන් එලෙස රැඳී සිටිමින් අමෙරිකානු සේවකයන් පුහුණු කළ යුතු බව ජනපති ට්‍රම්ප් කියා සිටියේය.
එහෙත් ඒ වනවිට නැවත සිය රට බලා යාමට දකුණු කොරියානු ශ්‍රමිකයන් තීරණය කර තිබුණි.
ජනපති ට්‍රම්ප්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වල තවදුරටත් අමෙරිකාව තුළ රැඳී සිටින්න තීරණය කර තිබෙන්නේ එක් දකුණු කොරියානුවෙකු පමණයි.
එමෙන්ම දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං සඳහන් කළේ, අමෙරිකාව තුළ ඉදිරි ආයෝජන සඳහා කැපී පෙනෙන බලපෑමක් ඇති කරනු ඇති බවය.
අන්‍යෝන්‍ය තීරු බදු අඩු කරගැනීම සඳහා දකුණු කොරියාව අමෙරිකාව සමග ඇතිකරගත් වෙළෙඳ එකඟතාවට අනුව දකුණු කොරියාව විසින් ඉදිරියේදී ඩොලර් බිලියන 350ක ආයෝජන අමෙරිකාව තුළ සිදුකළ යුතුවේ.
එහෙත් මෙම සංක්‍රමණික ගැටලුව නිසා ඉදිරියේදී අමෙරිකාව තුළ ආයෝජන සිදුකිරීම ගැන දකුණු කොරියානු ආයෝජකයන් නැවත සලකා බැලීමක් සිදුකරනු ඇති බව දකුණු කොරියානු ජනාපධිපතිවරයා සඳහන් කළේය.
යුන්ඩයි මෝටර්ස් සහ LG බැටරි කම්හලේ දකුණු කොරියානුවන්ගේ ගැටලුව ගැන සාකච්ඡා කිරීමට දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයාත් වොෂින්ටනය බලා ගොස් තිබුණි.
ඔහු අමෙරිකානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, ආයෝජන සම්බන්ධ කටයුතු සඳහා විශේෂ වීසා කාණ්ඩයක් ඇති කරන ලෙසය.
නැවත දකුණු කොරියාව බලා යන සංක්‍රමණික සේවකයන් ඒ සඳහා ඊයේ ආට්ලන්ටා ගුවන්තොටුපලට පැමිණියේය.
එහිදී ඔවුන්ට මාංචු හෝ දම්වැල් දමා නොතිබීම විශේෂත්වයකි.
මේ දක්වා ට්‍රම්ප් පරිපාලනය විසින් පිටුවහල් කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේ මාංචු දමා දම්වැල්වලින් ගැට ගසා ගෙනය.
දකුණු කොරියාවට මාංචු නොදැමීම පමණක් දකුණු කොරියාව තුළ මතු වී ඇති අමෙරිකානු විරෝධය සමනය කිරීමට ප්‍රමාණවත් ද කියන එක ගැටලුවකි.
මෙම දකුණු කොරියානුවන් පිරිස අද උදෑසන සිය රටට ළඟා වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.