රුසියාවට කළා වගේ ඊශ්‍රායලයටත් ක්‍රීඩා තහනමක් ?

රුසියාවට කළා වගේ ඊශ්‍රායලයටත් ක්‍රීඩා තහනමක් ?

September 12, 2025   11:02 am

යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ක්‍රීඩා කණ්ඩායම් තහනම් කළ ආකාරයටම, ඊශ්‍රායලයටද ක්‍රීඩා තහනමක් පැනවිය යුතු බව ස්පාඤ්ඤ ක්‍රීඩා අමාත්‍ය පිලාර් ඇලෙග්‍රියා පවසා තිබේ.

'Tour of Spain' පාපැදි තරගාවලිය මේ දිනවල ස්පාඤ්ඤයේ පැවැත්වෙන අතර, ඒ සඳහා ඊශ්‍රායල්-ප්‍රිමියර් ටෙක් කණ්ඩායම ද සහභාගි වී සිටියි.

එම කණ්ඩායමට තරගවැදීමට අවස්ථාව ලබාදීමට එරෙහිව ස්පාඤ්ඤයේ පලස්තීන ගැති සංවිධාන මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

එවන් පසුබිමක ස්පාඤ්ඤ ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබීම සුවිශේෂීය.

එහිදී ඔහු පවසා ඇත්තේ ඊශ්‍රායල්-ප්‍රිමියර් ටෙක් කණ්ඩායම තහනම් කිරීමට තම කැමැත්ත තිබුණද, එය ක්‍රියාත්මක කල හැක්කේ පාපැදි ලෝක පාලක මණ්ඩලයට පමණක් බවය.

තවද රුසියාව හා ඊශ්‍රායලය සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති දෙබිඩි පිළිවෙත අවධාරණය කරමින් හෙතෙම පවසා ඇත්තේ, 2022 වර්ෂයේ දී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ක්‍රීඩා කණ්ඩායම් තහනම් කළ ආකාරයටම ඊශ්‍රායල කණ්ඩායම් ද ක්‍රීඩාවෙන් තහනම් කළ යුතු බවය.

මෙම ඊශ්‍රායල-ප්‍රිමියර් ටෙක් කණ්ඩායම ඊශ්‍රායලය නියෝජනය කරමින් පැමිණි කණ්ඩායමක් නොවන බව සඳහන්.

ඔවුන් ඊශ්‍රායල-කැනේඩියානු පෞද්ගලික ආයතනයක් සංවිධානයක් පාලනය කරනු ලබන්නකි.

කෙසේ වෙතත් දැඩි විරෝධතා මධ්‍යයේ වුවද ඊශ්‍රායල-ප්‍රිමියර් ටෙක් කණ්ඩායම තරගාවලියේ රැඳී සිටීම ගැන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එම කණ්ඩායමට ප්‍රශංසා කර ඇත.

අද වනවිට රුසියාවට පනවා ඇති ක්‍රීඩා තහනම හේතුවෙන් එරට කිසිදු කණ්ඩායමට හෝ කිසිදු ක්‍රීඩා සමාජයකට ජාත්‍යන්තර තරගයකට සහභාගිවීමට නොහැක.

තනි තරග ඉසව් සඳහා රුසියානු ක්‍රීඩකයින්ට මධ්‍යස්ථ ධජයක් යටතේ කිරීමට අවස්ථාව ඇති අතර, එවන් අවස්ථාවන්දී ජයග්‍රහණවලදී රුසියානු ජාතික ගීය වාදනය කිරීමටද අවසර නොමැත.