ලෝකය වෙනස් කළ හැකි නිර්මාණශීලී පරපුරක් අපට අවශ්‍යයි - අගමැති
September 9, 2025 11:39 am
නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නව පරම්පරාවක් බිහි කිරීම සඳහා පවතින සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට එහා ගිය නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් පාසල් පද්ධතිය තුළට නව නිපැයුම් සමාජ 100ක් හඳුන්වාදීමේ ජාතික වැඩසටහන අමතමිනි.
එමෙන්ම නව නිපැයුම්කරුවාගේ වටිනාකම අධ්‍යාපන සුදුසුකම්, උපාධිය හෝ පේටන්ට් බලපත්‍ර ප්‍රමාණය මත පදනම් නොවන බවත්, පවතින සමාජය වඩා යහපත් කිරීම වෙනුවෙන් නව නිපැයුම්කරුවා දක්වන දායකත්වය වඩා වැදගත් වන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරන ලදී.
සමාජය පිළිබඳ හැඟීමක් හා සමාජය පිළිබඳ වගකීමක් ඇති , සහකම්පනයෙන් යුතු මානවවාදී නව නිපැයුම්කරුවන් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සහ ඔවුන් ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීම වන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
"අපට අවශ්‍ය වන්නේ දත්ත දන්න පරපුරක් විතරක් නොවෙයි. ඒ දත්තවල සත්‍ය අසත්‍යභාවය, විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි, විචාරශීලී බුද්ධියක් ඇති අලුත් විදිහට දකින්න පුලුවන්, ඒ දත්ත කරුණු පාවිච්චි කරලා ලෝකය වෙනස් කරන්න පුලුවන් මනසක් තියෙන නිර්මාණශීලිත්වය තියෙන පරපුරක් අපිට අවශ්‍යයි. අලුතින් හිතන්න, අලුතින් දෙයක් දිහා බලන්න, දත්ත, තොරතුරු හා දැනුම පසුපස හඹාගෙන යන්න දන්න ලෝකය ගැන කුතුහලයක් ඇති අය අපිට අවශ්‍යයයි."
මේ අතර, නව නිපැයුම් සමාජ බිහි කිරීම නිල වශයෙන් ආරම්භ කිරීම සංකේතවත් කරමින් දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරමින් පාසල් 09ක් වෙත නව නිර්මාණ සමරු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කරන ලදී.