තැන් තුනකින් ඇල්ලූ අයිස් අමුද්‍රව්‍ය බවට සැක රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව දින දෙකකින්

තැන් තුනකින් ඇල්ලූ අයිස් අමුද්‍රව්‍ය බවට සැක රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව දින දෙකකින්

September 9, 2025   06:58 am

දිවයිනේ  ප්‍රදේශ කිහිපයකින් සොයාගනු ලැබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන බව කියන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ ලබාදෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේ, මේ වන විට අදාළ ද්‍රව්‍යවල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.

පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් හෙළිවූ තොරතුරු මත මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන රාසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබීය.

ඉන් අනතුරුව පෙරේදා දිනයේ තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී මෙවැනිම ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර ඊයේ (08) කදාන ප්‍රදේශයේ දී ද එවැනි ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

මෙම ද්‍රව්‍යවල සාම්පල මේ වන විටත් ලබාගෙන ඇති අතර එහි පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේය.