අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි

අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි

September 8, 2025   07:42 am

කෙහෙල්බද්දර පද්මේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගැනීම සඳහා උත්සාහ කළ බව කියන සුඛෝපභෝගී නිවසක් කඳාන දුම්රියපල පාර ප්‍රදේශයේදී ඊයේ (07) පස්වරුවේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සොයාගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් ඊයේ අත්අඩංගුවට ගැනුණු ඇඹිලිපිටියේ සුරංග නැමැත්තාගෙන් ලද තොරතුරු අනුව එය අනාවරණ කරගත් බවය.

අදාළ නිවස සහ ඉඩම පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට උපයෝගි කරගන්තා යැයි සැකකරන සුදු පැහැති ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100ක් පමණ සොයාගෙන තිබුණි.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ නිවස ක්‍රිෂාන් නම් අයෙක් විසින් මීට මාස කිහිපයකට පෙර මසකට රුපියල් ලක්ෂ එකහමාරක මුදලකට කුලී පදනම මත ලබාගෙන ඇති බවය.

මෙම ස්ථානය පිළිබඳ අනාවරණ කරගෙන ඇත්තේ කුඩු නිලංගගේ සමීපතමයෙකු වන ඇඹිලිපිටියේ සුරංග නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

අදාළ ස්ථානයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සූදානමින් සිටි බව ඔහු පවසා ඇත.

මෙම ස්ථානයේ නවතැන්ගෙන සිටි ක්‍රිෂාන් නම් පුද්ගලයා කෙහෙල්බද්දර පද්මේ පාර්ශ්වයේ සමීපතමයෙන් බවද පොලිසිය සදහන් කළේය.

මිද්දෙණියෙන් අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට යොදාගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය සොයාගැනීමත් සමග පසුගිය සැප්තැම්බර් 6 වනදා ක්‍රිෂාන් නැමැත්තා අදාළ නිවසින් පලාගොස් ඇති බවද පොලිසිය පැවසීය.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කදාන පොලිසිය මගින් සිදුරනු ලබයි.