සැමියාගේ වද හිංසා දරාගත නොහැකිව සැමියා ඝාතනය කළ බිරිඳ රිමාන්ඩ්

සැමියාගේ වද හිංසා දරාගත නොහැකිව සැමියා ඝාතනය කළ බිරිඳ රිමාන්ඩ්

September 8, 2025   12:59 pm

සිය සැමියාගෙන් එල්ලවන වද හිංසා දරා ගැනීමට නොහැකිව සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බව කියන තිදරු මවක් එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැබිතිගොල්ලෑව වැඩබලන මහේස්ත්‍රාත් නිලූකා ප්‍රියදර්ශනී මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කැබිතිගොල්ලෑව කුරුලුගම පදිංචි තිස්පස් හැවිරිදි තිදරු මවකි.

සැකකාරිය විසින් ඝාතනය කළ බව කියන ඇගේ සැමියාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළාය.

එමෙන්ම සැකකාරිය භාරයේ සිටින ඇගේ දරුවන් තිදෙනා ඔවුන්ගේ මිත්තණිය වෙත භාර දීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය.

මෙහිදී සැකකාර බිරිඳ අධිකරණයට ඉදිරිපත් කරමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ සැරයන් ප්‍රසන්න රංජිත් දිසානායක මහතා පැවසුවේ අඹුසැමියන් ලෙස ජීවත් වූ මරණකරු සහ සැකකාරිය අතර දීර්ඝ කාලයක සිට මත ගැටුම් සහ අඬදබර පැවති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බවය.

මරණකරු නිරන්තරව සිය බිරිඳ වන සැකකාරියට ඉතා අමානුෂික ලෙස පහර දී වද හිංසා පමුණුවා ඇති බව විමර්ශනවලදී හෙළි වූ බවත් මෙම සිද්ධිය වූ දිනයේද මරණකරු සිය බිරිඳට අමානුෂික ලෙස පහර දී වද හිංසා පමුණුවා ගෙල සිර කිරීමට තැත් කර ඇති බවද සැරයන්වරයා අධිකරණයේදී පැවසීය. 

සැමියා විසින් තමා මරා දමාවි යැයි බියෙන් ඉවසිය නොහැකි තැන සැකකාරිය ද තියුණු ආයුධයක් ගෙන තම සැමියා මිය යනතුරු පහරදී ඇති බවද අධිකරණයට දැනුම් දුන් සැරයන්වරයා සැමියා මියගිය පසුව පසුදා පහන් වනතුරු සිය දරුවන් සමග නිවසේ සිට ඇති සැකකාරිය පසු දින උදෑසන කාලයේ කැබිතිගොල්ලෑව පොලිසියට පැමිණ පොරවකින් කොටා තමා තම සැමියා ඝාතනය කළේ යැයි පවසමින් පොලිසියට බාර වූ බවද සැරයන්වරයා පවසා සිටියේය. 

කෙසේ වෙතත් මෙම නඩුවේදී එකිනෙකා ඝාතනය කර ගැනීමේ චේතනාවක් නොතිබෙන්නට ඇති බවට සැක කරන්නේ යැයි ද ප්‍රකාශ කළ සැරයන් දිසානායක මහතා මෙය දෛවයේ සරදමක් මත සිදුව ඇති අතිශය ශෝචනීය ඛේදවාචකයක් බවද ප්‍රකාශ කළේය. 

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන්ව නැති බවත් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් සැරයන්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

පැමිණිල්ල වෙනුවෙන් කැබිතිගොල්ලෑව නඩු කටයුතු මෙහෙයුම් අංශයේ සැරයන් ප්‍රසන්න රංජිත් දිසානායක මහතා පෙනී සිටි අතර සැකකාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් දිසානායක මහතා පෙනී සිටියේය. 

ඒ අනුව කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරය අදාළ සැකකාරිය එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළාය.