සයුරෙන් එතෙර
යුක්‍රේන රජයේ ගොඩනැගිල්ලකට රුසියාවෙන් ප්‍රහාරයක්
September 7, 2025 12:02 pm
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් යුක්‍රෙන රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ රුසියාව විසින් මෙම ප්‍රහාරය සඳහා මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගෙන ඇති බවත් එමගින් ඔවුන් කියෙව් නගර මධ්‍යයේ ඇති ගොඩනැගිලි ඉලක්ක කර ඇති බවත්ය.
එමෙන්ම නගරයේ ඇති බහු මහල් නේවාසික ගොඩනැගිලි කිහිපයකටම රුසියාව විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් එම ගොඩනැගිලි කිහිපයක්ම අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් වේ.
ප්‍රහාර හේතුවෙන් මේ වන විට යුක්‍රේනයේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන් වේ.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිව් රිහ් වෙතද රුසියාව ප්‍රහාර එල්ල කර ඇති බවය.
යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රහාර සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ රුසියාව විසින් එක් රැයක් තුළ ඩ්‍රෝන යානා 805ක් සහ මිසයිල 13ක් එල්ල කළ බවය.
එම ඩ්‍රෝන ප්‍රහාර 751ක් වෙඩි තබා බිම හෙලීමට යුක්‍රේන ගුවන් හමුදාව සමත් වූ බවද ඔවුන් සඳහන් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සටන් විරාමයකට එකඟ වීමෙන් පසු යුක්‍රේනයට සාම සාධක හමුදා යැවීමට එරෙහිව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් සිදුකර ඇති අනතුරු ඇඟවීමත් සමග මෙම ප්‍රහාර එල්ල වී ඇති බවය.
යුක්‍රේනයට සාම සාධක හමුදා යැවීම සම්බන්ධව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටවල්වලට අනතුරු අඟවා තිබූ අතර එමගින් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබුණේ එම හමුදා රුසියානු ඉලක්ක විය හැකි බවත්ය.
රුසියානු ජනාධිපතිවරයා මෙම සාම සාධක හමුදා සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ යුක්‍රේනයට යොදවා ඇති ඕනෑම හමුදාවක් නීත්‍යානුකූල ඉලක්ක වනු ඇති බවත්ය.
කෙසේ නමුත් අද එල්ල වී ඇති මෙම ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ කියෙව්හී පිහිටි කැබිනට් ගොඩනැගිල්ලට හානි සිදුව ඇති බව යුක්‍රේන අගමැතිනි යුලියා ස්වයිරිඩෙන්කෝ නිල වශයෙන් තහවුරු කර තිබේ.
පුටින්ගේ යෝජනාව සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරයි
යුක්‍රේන ජනාධිපතිවරයා සමඟ හමුවක් මොස්කව් හීදී සිදු කිරීමට රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් ඉදිරිපත් කළ යෝජනාව යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ.
අමෙරිකානු මාධ්‍ය ආයතනයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේනය දෛනිකව ප්‍රහාරවලට ලක්වන තත්ත්වයක් තුළ එම ත්‍රස්තවාදීයාගේ අගනුවරට යාමට තමාට හැකියාවක් නොමැති බවය.
කෙසේවෙතත් අවශ්‍ය නම් රුසියානු ජනාධිපතිවරයාට සාකච්ඡා සදහා යුක්‍රේන අගනුවරට පැමිණීමේ හැකියාව පවතින බව සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සදහා යුක්‍රේන හා රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක් පැවැත්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ ගනු ලැබුව ද මේ වන තෙක් එය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී නොමැත.
පසුගියදා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සදහන් කර තිබුණේ යුක්‍රේන ජනාධිපතිවරයා රුසියානු අගනුවර වන මොස්කව් හීදි හමුවීමට තමන් සූදානම් බවය.