ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට
September 7, 2025 01:37 pm
ඇල්ල වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථ රියදුරුගේ රුධිර සාම්පල පරීක්ෂාව සදහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රුධිර සාම්පල අද දිනයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය සදහන් කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා දින රාත්‍රීයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන කණුව ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලැබීය.
අනතුරින් බස් රථයේ රියදුරු ද මියගිය අතර ඔහු අනතුර සිදුවන අවස්ථාවේ යම් මත්ද්‍රව්‍යයක් පානය කර සිට ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මෙසේ රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
අදාළ අනතුරින් මියගිය පුද්ගලයින්ගෙන් 12 දෙනෙකු තංගල්ල නගර සභාවේ සේවකයින් වන අතර ඔවුන්ගේ දේහයන් මේවන විට සිය නිවෙස් වෙත භාර දී ඇති බවත් අවසන් කටයුතු අද දිනයේ සිදුකිරීමට නියමිත බවත් වාර්තා වේ.
මේ අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් 11 දෙනෙකු තවදුරටත් බදුල්ල මහා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.