ගාසා නගරයේ දරුණු ව්‍යසනයක් අතළඟ
සයුරෙන් එතෙර

ගාසා නගරයේ දරුණු ව්‍යසනයක් අතළඟ

September 6, 2025   03:00 pm

ගාසා නගරය අත්පත් කරගැනීම තීව්‍ර කරමින් එහි පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව දැනුම්දී තිබේ.

ගාසා නගරය ආශ්‍රිතව සිදුකිරීමට සැළසුම් කර ඇති භූමි ප්‍රහාරය හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව එහි පදිංචිකරුවන්ට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මානුෂීය කළාපය වෙත යොමුවන ලෙස ඊශ්‍රායල හමුදාව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් ගාසා නගරයේ පදිංචිකරුවන් විශාල පිරිසක් එම මානුෂීය කලාපය වෙත යොමුවෙමින් සිටින බව සදහන්. 

මෙම කලාපයේ ක්ෂේත්‍ර රෝහල්, ජලනල මාර්ග මෙන්ම ආහාර, කූඩාරම්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් අඛණ්ඩව ලැබෙන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධීකරණය කටයුතු සිදුකරන බව ඊශ්‍රායල හමුදාව දැනුම්දී තිබේ.

ගාසා නගරය ආශ්‍රිතව පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් රැදී සිටින අතර, එම ප්‍රදේශය හමාස් සංවිධානයේ ඉතිරිව ඇති අවසන් බලකොටුව ලෙස සැලකෙයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මෙම භූමි ප්‍රහාරය ඉක්මන් වුවහොත් දරුණු ව්‍යසනයක් සිදු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවා තිබේ.

මෙම සැළසුමට දේශීයව මෙන්ම විදේශීය වශයෙන් ඊශ්‍රායල රජයට දැඩි විරෝධයක් ද එල්ල වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.