නිමාවක් නොදකින මාරක බස් අනතුරු

නිමාවක් නොදකින මාරක බස් අනතුරු

September 5, 2025   05:21 pm

මෙරට මෑත ඉතිහාසයේ බිහිසුණුම බස් අනතුර ලෙස සැලකෙන්නේ 2005 වසරේදී අප්‍රේල් මස 27 වැනි දින යාංගල්මෝදර ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරය.

කුරුණැගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වළකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුවිය.

කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මහනුවර සීඝ්‍රගාමී දුම්රිය එම බස් රථයේ ගැටීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

කෙසේ වෙතත් එම අනතුරින් පසුව මෙරට තුළ බස් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුවද එම අනතුරු මෙම යාංගල්මෝදර බස් අනතුර තරම් දරුණු නොවීය.

කෙසේ වෙතත් ගාල්ල යක්කලමුල්ල සිට ධාවනය වූ බස් රථයක් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අනතුරින්ද සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත් දිනෙන් දිනම සිදුවන අනතුරු අතර බස් අනතුරු ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට ප්‍රධාන හේතුව බවට පොලිස් වාර්තා අනුව අනාවරණය විය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්තවලට අනුව 2023 වසරේ සිදුවූ මාර්ග රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,341 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 2024 වසරේ සිදුවූ මාරක අනතුරුවලින් පුද්ගලයින් 2,521 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත් මෙම වසරේ ජූලි මස 01 වැනිදා වන විට මාරක රිය අනතුරු 1,256කින් පුද්ගලයින් 1,332 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. 

මෙම මුල් මාස 6 තුළ පුද්ගලික බස් රථ රියදුරන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලංගම බස් රථ මාරක රිය අනතුරු 30ක් ද සිදුව තිබේ.

කෙසේ වෙතත් මෙම වසරේ දී ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුර බොහෝ දෙනෙකුගේ අවධානයටද ලක්විය.

මෙම වසරේ මැයි මස 11 වනදා සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 35 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබුණි.

මෙය මෑත ඉතිහාසයේ ඛේදජනකම ලංගම බස් රථ අනතුර බවට පත්විය.

කෙසේ වෙතත් ඊයේ (04) රාත්‍රියේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කණුව කිලෝමීටර කණුව ආසන්නයේදී සිදුවූ බස් අනතුර මෙරට රිය අනතුරු ඉතිහාසයට තවත් ඛේදනීය අත්දැකීමක් එකතු කරන රිය අනතුරක් බවට පත්විය.

එම අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙකුද ඇතුළුව පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලැබූ අතර තවත් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළේය.

මෙම සෑම අනතුරකදීම බස් රථ රියදුරන්ට සෘජුව චෝදනා එල්ලවන අතර ඇතැම් අවස්ථාවලදී බස් රථවල කාර්මික දෝෂද මෙම අනතුරුවලට හේතු වී තිබේ.

කෙසේ වෙතත් දිගින් දිගටම මාරක රිය අනතුරු ඉහළ යෑම සමාජ ප්‍රගමනයට ඉතා ඛේදනීය තත්ත්වයක් බව සිහිපත් කළ යුතුවේ.