ඇල්ල බස් අනතුරින් විපතට පත් තංගල්ලේ මිනිසුන් වෙනුවෙන් හිටපු ජනපති මහින්ද තැබූ සටහන
September 5, 2025 06:04 pm
ඇල්ල බස් රථ අනතුරින් විපතට පත් සියලු පාර්ශව වෙත තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය මුහුණුපොතේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ අනතුර පිළිබඳව අසා තමන් දැඩි කම්පාවට සහ ශෝකයට පත්වූ බවය.
එමෙන්ම තමන්ගේ ගම් ප්‍රදේශය වන තංගල්ල ප්‍රදේශයේ නගර සභාවේ ලේකම්වරයා ඇතුළු තවත් පිරිසක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වීම සමස්ත රටේම පුරවැසියන් මෙන්ම තංගල්ල ප්‍රදේශයේම සියල්ලන්ටම දැඩි කණගාටුදායක කරුණක් බවත් හිටපු ජනපතිවරයා සඳහන් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
ඊයේ රාත්‍රියේ (04) ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුව ඇති බස්රථ අනතුර පිළිබඳව අසා බෙහෙවින් කම්පාවට සහ ශෝකයට පත් වූයෙමි.
තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ, නැවත යමින් සිටිය දී රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් තංගල්ල නගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු තවත් පිරිසකගේ ජීවිත රැසක් අහිමි ව ඇති බවත්, තවත් බහුතරයක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ මෙම අනතුර මාගේ ගම් පළාත වන තංගල්ල ප්‍රදේශයේ සැමට අතිශය කණගාටුදායක කරුණක් බව මම දනිමි.
ඉතා අනතුරු දායක පරිසරයක් තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් කඹ ආධාරයෙන් ප්‍රපාතයට බසිමින් ජීවිත බේරා ගැනීමට කටයුතු කළ විශේෂයෙන්ම තරුණ දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන්, පොලිසිය ඇතුළු යුද හා ගුවන් හමුදා නිල දරුවන්, ගිනි නිවීමේ ඒකක නිලධරයන්, වෛද්‍ය කණ්ඩායම් ඇතුළු සැමට මාගේ ස්තුති පූර්වක ආචාරය පුද කරමි. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවේ සිහිපත් කරමි.
මෙම ඛේදනීය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පවුල්වල පිරිස ඇතුළු සියලු දෙනාට මාගේ බලවත් කනගාටුව පළ කරමි.
බස් රථ අනතුරින් තුවාල ලැබූ සැමට ද, විපතට පත් පිරිස බේරා ගැනීමට යාමේදී තුවාල ලබා ප්‍රතිකාර ගනු ලබන ආදරණීය මිනිසුන්ට ද ඉක්මන් සුවය ලැබේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනයයි.