වියත්පුර නිවාස ලබාදීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් සහන ඉවතට

වියත්පුර නිවාස ලබාදීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් සහන ඉවතට

September 4, 2025   12:22 pm

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් 'වියත්පුර' නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේ දී ලබාදී ඇති සහන ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පසුගිය 2022 මැයි මස 9 වන දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද මෙම වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබාදීමට 2022 ජූලි 4 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබුණි.  

ඉන් අනතුරුව එම නිවාස සහනදායි ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙන ලෙස අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව රු මි 15.5ක අවම වටිනාකමකට සහ රු මි 22ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රු මි 13.34ක් ලෙස සහ උපරිම වටිනාකම රු මි 18.21ක් ලෙස අඩුකර සහනදායි ක්‍රමවේදයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමටත්, විකුණුම් මිලෙන් 25%ක මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොලී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අයකර ගැනීමටත් 2024 ජූලි 15 වන දා කැබිනට් අනුමැතිය හිමිවුණි.

එම ක්‍රමවේදය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට 2024.12.31 දින වනවිට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර තිබේ.

මෙම සහනදායි ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රු මි 92.126ක පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති අතර, දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

ඒ නිසාවෙන් අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය ජනතාවට එම නිවාස ලබාගැනීම සඳහා වන ක්‍රමවේදයක් සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමටත් නාගරික සංවර්ධන, ඉදිරිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කර කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.