2025 වසරේ කීර්තිමත් වනජීවී ඡායාරූප ශිල්පියා ලෙස ලක්ෂිත කරුණාරත්න සම්මාන ලබයි
September 2, 2025 06:53 pm
2025 වසරේ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වීමට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙකුට හැකි වී තිබේ.
මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ, ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්නය.
ලන්ඩන්/කොළඹ 2025 සැප්තැම්බර් - මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය (Natural History Museum, London) විසින් සංවිධානය කරන ලද ලෝක ප්‍රකට, වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන (Wildlife Photographer of the Year – WPY) තරගාවලියේදී ලක්ෂිත කරුණාරත්න මෙලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන එන ලදි.
වනජීවී ඡායාරූපකරණයේ ඔස්කාර් සම්මාන උළෙලේ ලෙස හැඳින්වෙන මෙම තරගාවලියේදී ඔහු ලැබූ දෙවන සම්මානය මෙය වෙයි.
වසර 61ක එහි ඉතිහාසයේ මෙම තරගාවලියේදී දෙවරක් සම්මාන ලැබූ පළමු ශ්‍රී ලාංකිකයාද ලක්ෂිත කරුණාරත්නය.
1965 වසරේ ආරම්භ වූ WPY තරගාවලිය සඳහා මෙවර රටවල් 120කට අධික සංඛ්‍යාවකින් වාර්තාගත ඡායාරූප 60,636ක් ලැබී ඇති අතර, ඉන් ජයග්‍රාහී ඡායාරූප 100ක් පමණක් තෝරාගෙන ඇත.
ලක්ෂිතගේ ‘Toxic Tip’ ලෙස නම් කරන ලද සම්මානලාභී ඡායාරූපය, ඔහු විසින් වසර තුනකට ආසන්න කාලයක් මිනිස්-ඇත් ගැටුම් සහ අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ විනාශකාරී බලපෑම් පිළිබඳව තොරතුරු රැස් කළ, අම්පාර දිස්ත්‍රික්කයේදී ගනු ලැබූවකි.
අති විශාල අපද්‍රව්‍ය ගොඩක ආහාර සොයන තනි අලියෙකු නිරූපණය වන එම ඡායාරූපය, ශ්‍රී ලංකාවේ අලින්ට පොලිතීන්, ප්ලාස්ටික් සහ මයික්‍රොප්ලාස්ටික් ශරීරගත වීම නිසා සිදුවන හානිය පිළිබිඹු කරන සංවේදී අවස්ථාවකි.
විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ මෙවැනි අපද්‍රව්‍ය ශරීරගත වීමෙන් අලි ඇතුන්ට දරුණු ආහාර මාර්ග අවහිරතා, විෂ වීම් සහ ආයු කාලය කෙටි වීම සිදුවිය හැකි බවයි.