මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

September 2, 2025   06:13 pm

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොනු කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් හා නිර්දේශ දක්වා තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් රජය ප්‍රතිඥා ලබාදුන්නද එම පනත උපයෝගී කරගනිමින් තවදුරටත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ කාලීනව රඳවා තැබීමට කටයුතු කරන බව අදාළ වාර්තාවේ දැක්වෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම තවදුරටත් අත්හිටුවීම, එය අහෝසි කිරීම හෝ ඒ වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව නව නීති කෙටුම්පතක් හඳුන්වාදීම වේගවත් කළයුතු බව මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ.

එමෙන්ම ත්‍රසතවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින සියලුම සැකකරුවන් නිදහස් කරන ලෙසද මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කර ඇත.

මෙරට තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමී එක්රැස්වීම හා භාෂණයට පවතින නිදහස අනිසි අන්දමින් සීමාකරන නීති සහ යෝජිත නීති අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ.

මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 3 වනදා දක්වා පැවැත්වෙයි.

60 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊට සහභාගී වීමට නියමිතය.

මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ නිර්දේශ by poornima