කහවත්ත ඝාතනයේ සැකකාර වෙඩික්කරු හඳුනාගනී
September 2, 2025 04:29 pm
කහවත්ත පලන්සූරියගම හල්ලිද ප්‍රදේශයේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (02) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් දෙදෙනාම සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ.
මෙම ඝාතනයේ වෙඩික්කරු බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ සැකකරුවන් රැගෙන ගිය ජීප් රථයේ රියදුරු මෙලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා සහ මෙම ඝාතනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනෙක් සැකකරුවන් 8දෙනා සමග 10 දෙනාම ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මෙහිදී නියම කෙරුණි.
ඝාතන සිද්ධියේ 9 වැනි සැකකරු වන වෙඩික්කරු බවට සැකකෙරෙන කිරිබත්ගොඩ පදිංචි රමේෂ් චින්තක සහ 10 වන සැකකරු වන රත්නපුර දෑල පදිංචි රවිඳු යසස් යන සැකකරුවන්ව සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන ඇත.
කහවත්ත පලන්සූරියගම හල්ලිද ප්‍රදේශයේ පදිංචි සුරංජන නම් 22 හැවිරිදි තරුණයාව පසුගිය ජුනි මස 30 වනදා පොලීසියෙන් බව පවසමින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් කහවත්ත ඇන්දාන මාර්ගයේදී වෙඩිතබා ඝාතනය කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ රත්නපුර කොට්ඨාස අපරාධ ඒකකය විසින් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.