ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

September 2, 2025   01:31 pm

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීස් ගමගේ මහතා තවදුරටත් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

ඒ ඊට අදාළ පැමිණිල්ල අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවය. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ පොලිසිය වෙත සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

එහිදී එම මුදල් බැංකු ගිණුම් තුනක තිබී හමුවූ බවද අල්ලස් කොමිසම මීට පෙර අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

ඊට අමතරව සැකකරු විසින් අල්ලස් ලෙස ලබා ගත් එක්කෝටි දාසය ලක්ෂයකට අධික මුදලක් තවත් පුද්ගලික බැංකු ගිණුමක තිබී සොයා ගත් බවත්  එම බැංකු ගිණුම මීට පෙර විමර්ශනය කළ බැංකු ගිණුම් තුනට අමතරව මුදල් බැර කර තිබෙන නව ගිණුමක් බවත් එම නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.

මෙම එක්කෝටි දාසය ලක්ෂයක මුදල ඔහුගේ රියදුරු වන විජේසිංහ සහ පොලිස් කොස්තාපල්වරයකු වන අසිත නම් පුද්ගලයන් දෙදෙනකු විසින් බැර කර ඇති බවට කරුණු අණාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීයා අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුගේ රියදුරා විසින් මුදල් 67 වතාවකත්, පොලිස් කොස්තාපල්වරයා විසින් අවස්ථා තුනකදීත් අදාළ ගිණුමට මුදල් බැර කර ඇති බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරියා මෙම  සැකකරුගේ දියණියගේ සහ බිරිඳගේ නමින් ඇති බැංකු ගිණුම්වලද අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වි ඇති
බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පැවසීය.

ඉකුත්  14 වනදා මෙම නඩුකරයේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන අනුර නානායක්කාර නැමැත්තා සාධාරණ හේතුවක් නොමැතිව අක්මීමන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන බවත් මෙම සැකකරු විසින් සාක්ෂිකරුවන්ට සෘජුව හා වක්‍රව බලපෑම් කර ඇති කළ බවට කරුණු අණාවරණය වී ඇති නිසා මොහු ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාට එරෙහිව එල්ල කරන චෝදනා අසාධාරණ බව සඳහන් කළේය.

සැකකරු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරුගේ තනතුර හා තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී ඔහු මෙම අවස්ථාවේදී ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදු විය හැකි බවය.

ඒ අනුව සැකකරු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අල්ලස් කොමිසමට කියම කළේය.