විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් 30ක් රෝහලට
September 1, 2025 10:30 pm
ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව, ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝගී වූ 30 ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
එම පවිත්‍රාගාරයේ ක්ලෝරින් නළ පද්ධතියෙන් මෙම වායුව කාන්දු වී පරිසරයට නිකුත්ව ඇති බව හෙළි වී තිබේ.
මේ අවස්ථාවේ එම වත්තේ සේවය කරමින් සිටි කම්කරුවන්ට මෙම විෂ වායුව ආඝ්‍රාණය වී ඇති අතර ඉන් කිහිපදෙනෙකුම බිම වැටී සිටියදී රෝහල් ගත කළ බව එහි සේවකයෝ පවසති.
ජල පවිත්‍රාගාරයේ අසල ඇති තේ වත්තේ තේ පඳුරු දහසක් පමණ ද මෙම වායුව වැදීම සමග මැලවී ගොස් ඇති අතර ටැංකිය අසල වැඩ කරමින් සිටි වතු සේවක පිරිසකට මෙම වායුව දැඩිව ආඝ්‍රාණය වීමෙන් රෝගී වී තිබේ.
රෝහලට ඇතුළත් කළ පිරිස අතර වතු පරීක්ෂකවරයෙක් ද සිටින අතර ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෙකුද වේ.
මෙම සිදුවීම සමග ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කළ අතර වතු නිලධාරීන්ද මේ සේවක පිරිසට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනු ලැබීය.
මෙම ජල සම්පාදන ක්‍රමයෙන් පුස්සල්ලාව හා පාරදෙක නගරවලට මෙන්ම අවට ප්‍රදේශවලටද ජලය සැපයීම සිදුකෙරේ.
මේ පිළිබඳව විමසීමේ දී ජල සම්පාදන මණ්ඩලයේ ගම්පොළ වැඩ බලන නිලධාරී ඒ. ඒම්. ප්‍රේමතුංග මහතා ප්‍රකාශ කළේ, මෙම ජල පිරිපහදුවේ ක්ලෝරින් නළයක කාන්දුවක් හදිසියේ ඇතිව තිබීම නිසා එය පරිසරයට විවෘත වුවත් එහි සේවකයෙක් ගෑස් ආවරණ මුහුණට දමා ගත් විගසින් එම කාන්දුව වසා දැමීමට පියවර ගෙන ඇති බවය.
ජල ටැංකිය අසල දළු කිරමින් සිටි සේවකයන් පිරිසකට මෙම වායුව ආග්‍රහණය වීම නිසා මෙසේ රෝගී වී ඇති බවද ඔහු පැවසීය.ක්ලෝරින් අඩංගු ගෑස් ටැංකිය තුළ සුළු ගෑස් ප්‍රමාණයක් තිබීම නිසා හානිය අවම වී ඇති බවද ඉදිරියේදී මෙහි ආරක්ෂාව තවත් තර කරන බවද ඔහු සඳහන් කළේය.