ඇෆ්ගනිස්තාන භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාවට රටවල් රැසකින් ආධාර

ඇෆ්ගනිස්තාන භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාවට රටවල් රැසකින් ආධාර

September 2, 2025   11:37 am

ඇෆ්ගනිස්තානයේ ඇතිවූ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මේ වන විට මියගොස් ඇති පිරිස 800 සීමාව දක්වා ළඟා වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ ඊයේ (01) රික්ටර් මාපක 6.0 භූ කම්පන තත්ත්වයක් ඇති වූ අතර මේ හේතුවෙන් එරටට දැවැන්ත හානි සිදුවිය.

මෙම භූකම්පන තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ එරට කඳුකර කූනාර් පළාතට වන අතර එහිදී මාර්ග අවහිර වීම හේතුවෙන් ගලවා ගැනීම් මෙහෙයුම් පවා සිදු කිරීම දැඩි දුශ්කර වී තිබුණි මේ හේතුවෙන් ගලවා ගැනීම් මෙහෙයුම් සිදුකළ හැකි වූයේ ගුවන් මගින් පමණක්ම විය.

එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ භූ කම්පන තත්ත්වයෙන් පසු ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් සුන්බුන් අතර තවදුරටත් සිර වී සිටින්නන් මුදා ගැනීම සඳහා මේ වන විටත් මෙහෙයුම් දියත් වෙමින් පවතින බවය.

මේ හේතුවෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවද එරට බලධාරීන් අනුමාන කරන අතර කුනාර් පළාතේ පිහිටි ගම්මානය ඇතිවූ භූකම්පනයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයිද ඔවුන් සඳහන් කර තිබේ.

කිලෝමීටර් 8ක් දක්වා ඇතිවූ මෙම භූ කම්පන තත්ත්වයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි සෙලවී ගොස් තිබුණි.

පවතින තත්ත්වය හේතුවෙන් එරට සුන්බුන් අතර සිරවී සිටින ජනතාවට මුදා ගැනීම සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මැදිහත් වන ලෙස ජාත්‍යන්තර සංවිධානවලින් එරට බලධාරීන් ඊයේ දිනයේදී ඉල්ලීමක් ද සිදුකර තිබුණි. 

මෙම තත්ත්වය තුළ මේ වන විට ඇෆ්ගනිස්තානයට විවිධ රටවල් රැසකින් ආධාර ලැබෙමින් පවතින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උණුසුම් ආහාර සහ බ්ලැන්කට් ලබා දීමටද සැලසුම් කර තිබේ.

තවද ඉන්දියාවේ විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පැවසුවේ ඉන්දියාව විසින් කාබුල් වෙත කුඩාරම් 1,000ක් ලබා දීමට පියවර ගෙන ඇති බවත් ටොන් 15ක ආහාර ඇතුළු තවත් සහනාධාර ලබා දීමටද පියවර ගන්නා බවය.

මේ අතර එක්සත් රාජධානිය පවුම් මිලියන 1ක සහන අරමුදල් ලබා දීමට පොරොන්දු වී ඇති අතර කෙසේ නමුත් එම මුදල් තලේබාන් සංවිධානය අතට පත් නොවනු ඇති බවත් වාර්තා වේ.

තවද ස්විට්සර්ලන්තය ඇතුළු තවත් රටවල් ගණනාවක් ද ඇෆ්ගනිස්තානය වෙත ආධාර පරිත්‍යාග ලබා දීමට පොරොන්දු වී තිබේ.

මේ අතර ඇෆ්ගනිස්තානය භූකම්පනවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි වීම සම්බන්ධව මේ වන විට අවධානය යොමුව තිබේ.

මීට හේතු වී ඇත්තේ ඇෆ්ගනිස්තානය ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි හමුවන ස්ථාන කිහිපයකම පිහිටා ඇති බැවිනි.

2023 වසරේදී ඇෆ්ගනිස්තානයේ බටහිර ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපක 6.3ක භූ කම්පන මාලාවෙන් පසු එම ප්‍රදේශයේ හේරත් නගරය ආසන්නයේ සිටි පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

තවද ඊට පෙර වසරේ එරට නැගෙනහිර ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපකයේ 5.9ක භූ කම්පන තත්ත්වයෙන් පුද්ගලයින් 1,000ක් මියගොස් තවත් 3,000කට ආසන්න පිරිසක්ද තුවාල ලැබීය.