ලබන වසරේ දී රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු Online ක්‍රමයට - ජනපති
September 1, 2025 05:38 pm
ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු කටයුතු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ සිදු කර ගැනීමට හැකි පහසුකම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වූ ඩිජිටල්කරණය මගින් මෙතෙක් කොළඹට සීමා වූ සියලු පරිපාලන කටයුතු ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කරමින් රජයෙන් ඉටු කර ගත යුතු කාර්ය ඉතා සමීපව ඉටු කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවද ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමිනි.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.
මෙතෙක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන සේවා පහසුකම් ලබා ගැනීමට ඉතා දිගු දුරක් ගෙවමින් උතුරු පළාතේ පිහිටි එකම ප්‍රාදේශීය කාර්යාලය වූ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත යාමට සිදු ව තිබිණි. උතුරු පළාතෙන් ඉදිරිපත් වන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත් සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින්, ඒ සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරිණි.
යාපනය ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තු සේවා සැපයීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගමන් බලපත්‍ර 03ක් නිකුත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
අනතුරුව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් සමඟ හමුවකට එක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ජනතා අපේක්ෂා ඉටු කිරීමට නම් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් එක් ව වැඩ කළ යුතු බවයි.
තමන් වෙත පැවරී ඇති බලය ජනතා සුබසෙත උදෙසා යොදවන රාජ්‍ය නිලධාරින් උපරිමයෙන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන අතරම, එම බලය මුදල් වෙනුවෙන් යොදවන රාජ්‍ය නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, අද වන විට මෙරට සමස්ත රාජ්‍ය සේවකයන්ට රට වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට අවස්ථාව ලැබී ඇති බව සඳහන් කළේය.
රට ගොඩනැඟීමට නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බවත්, ලොව දියුණු වූ සෑම රටකම දියුණුව පිටුපස ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර, යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library) ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ඒ අනුව යාපනය මහජන පුස්තකාලය සඳහා jaffna.dlp.gov.lk වෙබ් අඩවිය හඳුන්වා දීම මෙහිදී සිදු කෙරුණු අතර මේ ව්‍යාපෘතිය මගින් යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
යාපනයේ ජනතාවගේ අභිමානයේ සංකේතයක් වු යාපනය මහජන පුස්තකාලය ආසියාවේ විශාලතම පොත් එකතුවකින් යුත් පුස්තකාලයක් වන අතර පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම දෙස් විදෙස් පර්යේෂකයන් ඇතුළු විශාල පිරිසක් දෛනිකව එය පරිශීලනය කරති.
යාපනය මහජන පුස්තකාලය සඳහා ඒකාබද්ධ පුස්තකාල කළමනාකරණ පද්ධතියක් සහ ස්මාර්ට් කාඩ් ප්‍රවේශ පහසුකමක් හඳුන්වා දීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා සහායක තාක්ෂණය ඇතුළත් විශේෂ ඒකකයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු විය.
මෙම ව්‍යාපෘතිය සඳහා 2025අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100කි.
ඊ-පුස්තකාල වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළ ජනාධිපතිවරයා එහි කියවීමේ ශාලාව සහ පොත් බැහැර දෙන අංශයේ නිරික්ෂණ චාරිකාවකද නිරත වෙමින් කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, යාපනය නාගරික මහ කොමසාරිස්, යාපනය පුස්තකාලාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.