ලංගම - පෞද්ගලික ඒකාබද්ධ ගමන්වාර ආරම්භ කෙරේ

ලංගම - පෞද්ගලික ඒකාබද්ධ ගමන්වාර ආරම්භ කෙරේ

August 26, 2025   09:00 am

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ සිට එම ඒකාබද්ධ ගමන්වාර ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනය කළේය.

එමෙන්ම ප්‍රවාහන සහ මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ ද නිෂ්චිත කාල රාමුවකට ලංගම සහ පෞද්ගලික බසරථ බල ඇනිය එකම තැනකින් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවය.

"පැවති සාකච්චා සමූහයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වෙච්ච ඒකාබද්ධ කාලසටහනකට ධාවනය කිරීම සඳහා එක ප්‍රවේශ මාර්ගයක් කොළඹට පිවිසෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වන පුත්තලම් කොරිඩෝ එක , යාපනය සිට කොළඹ දක්වා, මන්නාරම සිට කොළඹ දක්වා, තලෛයිමාන්නාරම සිට කොළඹ දක්වා, ඒ ඒ ගමනාන්ත දක්වා ලඟාවන බස්රථ පොදු ඒකාබද්ධ කාලසටහනකට ධාවනය කරන්න අපි අනිවාර්යයෙන්ම නිෂ්චිත වෙලාවකට බස් රථය පිටත් වෙන්න පටන් ගන්නවා නිෂ්චිත වෙලාවට ගමනාන්තය දක්වා යා යුතුයි. ඒ වගේම පිටත්වෙන බස් රථයෙන් බස් රථයට ඇති කාල පරාසය නිෂ්චිත කරලා තියෙනවා. මේ ආකාරයට නිෂ්චිත කාල රාමුවකට ලංගම සහ පෞද්ගලික බසරථ බල ඇනිය එකම තැනකින් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. "

කෙසේවෙතත් ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් ඒකාබද්ධ කාල සටහනක් යටතේ ක්‍රියාත්මක කිරීමට එරෙහිව විරෝධය පළකරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් පවසයි.

රජය විසින් ගෙන ඇති මෙම තීරණයට එරෙහිව ඊයේ (25) කොළඹ මධ්‍යම බස් නැවතුම්පල තුළ එහි වෘත්තීය සංගම් විරෝධතාවක ද නිරත විය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා සඳහන් කළේ ඊට විරෝධය පල කරන බව ය.