නව දූත මණ්ඩල ප්‍රධානීන් 07 දෙනෙක් ජනපති හමුවෙති
August 22, 2025 09:42 pm
නව දූත මණ්ඩල ප්‍රධානීන් 07 දෙනෙකු ජනපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ.
අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බවය.
නව පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීන් වෙත සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී කිසිදු බේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත්, ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒවාට කඩිනමින් මැදිහත් වන ලෙසත් උපදෙස් ලබා දුන්නේය.
එසේම ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගමන් කරමින් සිටින බැවින් රටේ වත්මන් අවශ්‍යතා සහ අභියෝග වටහා ගෙන කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
විශේෂයෙන් විදේශ ආදායම් ඉපයීමේදී ආයෝජන, අපනයන, සංචාරක සහ රැකියා යන ක්ෂේත්‍ර 4 තුළ තානාපති කාර්යාලවලට විශේෂ වගකීමක් පැවරී තිබෙන බවත් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ආර්ථිකයේ බාහිර ස්ථායිතාව ඇති කිරීමේදී තීරණාත්මක සාධකයක් වන විදේශ විනිමය මාර්ග සියල්ලම තානාපති කාර්යාල සමඟ බැඳී පවතින බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමෙන්ම විදෙස් රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ වරණීය වෙළෙඳ සැකසුම්වලට එළඹීම කාලීන අවශ්‍යතාවක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද නව රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙසේය.
01. ඉන්දුනීසියාවේ තානාපති- එස්.එස්.ප්‍රේමවර්ධන මහත්මිය
02. බ්‍රසීලයේ තානාපති- සී.ඒ.සී.අයි.කොලොන්න මහත්මිය
03. මාලදිවයිනේ මහකොමසාරිස්- එම්.ආර්.හසන් මහතා
04. තුර්කියේ තානාපති- එල්.ආර්.එම්.එන්.පී.ජී.පී.බී.කදුරුගමුව මහතා
05. නේපාලයේ තානාපති - රුවන්ති දෙල්පිටිය මහත්මිය
06. දකුණු කොරියාවේ තානාපති- එම්.කේ.පත්මනාදන් මහතා
07. ඕමානයේ තානාපති- ඩබ්ලිව්.ඒ.කේ.එස්.ද අල්විස් මහතා