වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව අයවැය පූර්ව සාකච්ඡාවක්
August 22, 2025 05:32 pm
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 29 මගින් 2025 අයවැය ප්‍රතිපාදන අනුව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය, එහිදී මතුව ඇති ගැටලු සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
පොල් වගාව සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ඒ සඳහා වාණිජ වගාවන් සහිත ඉඩම් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
අලුතින් පොල් වගාවට වඩා පවතින වගාවන්හි ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අවධානය යොමු කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ඌන උපයෝජන සහිත පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින පොල් වතු ප්‍රශස්ත ලෙස උපයෝජනය සඳහා දැනට පවතින නීති, රීති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
එමෙන්ම මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු උපයෝජනය නොවූ ඉඩම් උපයෝජනය සඳහා සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
වතු නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය, වතු යටිතල පහසුකම් සංවර්ධනය, වතු පාසල්හි සුහුරු පන්ති කාමර පිහිටුවීම සහ වතු අංශයේ ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
තේ සහ රබර් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කටයුතු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ලංකා කුරුදු නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ගෝලීය ප්‍රවේශය වැඩි දියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
බස්නාහිර පළාත තුළ කුරුදු වගාව ප්‍රවර්ධනය කිරීම සහ එමගින් ඉහළ ඵලදායීතාවක් මෙන්ම ඉඩම් උපයෝජනය ඉහළ නංවා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට මෙරට නිර්මාණය වී තිබෙන කෘත්‍රිම වෙළෙඳපළ හේතුවෙන් බොහෝ කර්මාන්ත ඌන ධාරිතාවක් සහිත තත්ත්වයට පත්ව ඇති බැවින්, මේ පිළිබඳ නිසි ඇගයීමක් සිදු කර මෙරට කර්මාන්ත සංවර්ධනයට අදාළ උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි ද්වීකරණ අවස්ථා හඳුනාගෙන එසේ හඳුනාගත් ආයතන ඒකාබද්ධ කිරීමත්, ඈවර කළ යුතු ආයතන ඈවර කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම වැවිලි ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම සහ අපේක්ෂිත ඉලක්ක පිළිබඳවද සාකච්ඡාවට බදුන් විය.