ජාතික විගණන කාර්යාලය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමැතිය

ජාතික විගණන කාර්යාලය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමැතිය

August 21, 2025   12:11 pm

ජාතික විගණන කාර්යාලය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

පසුගියදා (19) වනදා රැස්වූ මුදල් කාරක සභාවේ දී ඒ පිළිබඳව සළකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ යෝජනා සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි. 

2018 අංක 19 දරන විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව මෙම සළකා බැලීම සිදුවිය. 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා 19 වනදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. 

වැඩබලන විගණකාධිපති ජී.එච්.කේ ධර්මපාල මහතා ඇතුළු ජාතික විගණන කාර්යාල නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ජාතික විගණන කාර්යාලයේ පවතින ගැටලු පිළිබඳව ද අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි..

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විදේශ ව්‍යාපෘති හා රාජ්‍ය ව්‍යාපාර ඇතුළු ආයතන 2000කට ආසන්න ප්‍රමාණයක් විගණනය කිරීම සිදු කරන විගණන කාර්යාලයේ සේවක හිගය, නවීන තාක්ෂණය ඇතුළත් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

වරලත් ගණකාධිකාරී මට්ටමේ උසස් නිලධාරීන් 35ක් පමණක් ජාතික විගණන කාර්යාලයේ දැනට සේවය කරන බවත් වත්මන් වැටුප් තල හමුවේ ගණකාධිකරණ උසස් විභාග සමත් නිලධාරීන් රඳවාගැනීමේ ගැටලුවක් ඇතිබවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී සඳහන් කළහ. 

මීට අමතරව ජාතික විගණන කාර්යාලය යටතේ පළාත් මට්ටමින් කාර්යාල පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැදගත්කම, කෘතීම බුද්ධිය වැනි නවීන තාක්ෂණික අංග යොදා ගෙන අවම සේවක ප්‍රමාණයකින් කාර්යක්ෂමතාව වැඩිකිරීමේ හැකියාව යනාදී කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය. 

මුදල් කාරක සභාවේ සාමාජිකයන් වන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්ඡි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.