ගාලු කුමාරි පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත්

ගාලු කුමාරි පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත්

August 17, 2025   06:46 am

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ එම දුම්රිය ඊයේ (16) පස්වරුවේ පීලි පැනීමට ලක්ව තිබුණි.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර අද පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන් ගිංතොට දුම්රිය ස්ථානයෙන් පසුව පිහිටා ඇති දොඩංදූව, හික්කඩුව, කහව සහ අම්බලන්ගොඩ යන දුම්රිය ස්ථානවලින් ආරම්භ කෙරෙන බව සඳහන්ය.

එමෙන්ම බෙලිඅත්ත සිට ධාවනය වීමට නියමිත දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම දුම්රියේ මගීන්, බස් රථ ඔස්සේ ගිංතොට දුම්රිය ස්ථානයෙන් පසුව පිහිටි දුම්රිය ස්ථානයකට පැමිණ අනෙක් දුම්රියකට මාරුවීමේ හැකියාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.