නියෝජ්‍ය පොලිස්පති ලෙසින් අනුරපුර පොලිසියට බලපෑම් කළ අය සොයා විමර්ශනයක්

නියෝජ්‍ය පොලිස්පති ලෙසින් අනුරපුර පොලිසියට බලපෑම් කළ අය සොයා විමර්ශනයක්

August 15, 2025   09:33 pm

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු ශ්‍රාවස්තිපුර තිඹිරිගස්කඩවල ගල්තාලවක් සහිත ඉඩමක නිදන් හාරමින් සිටියදී අත් අඩංගුවට ගැනීමේ සිද්ධියේදී ඔවුන් මුදා හරින ලෙස වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට දුරකතන ඔස්සේ බලපෑම් කළ බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බව පැවසූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා අදාළ ඇමතුම ලබා දුන් දුරකතන අංක පිළිබඳව සහ එහි සැකකරුවන්ගේ දුරකතන පිළිබඳව විශ්ලේෂණ වාර්තා නොපමාව ලබාදෙන ලෙස අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් පෞද්ලික දුරකතන සමාගමකට අද (15) නියෝග කරනු ලැබීය.

අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා මෙලෙස නියෝග කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවයෙකුගේ බිරියක බව කියන කාන්තාව ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක නිදහන් හාරමින් සිටියදී අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් මගින් අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය අධිකරණයෙක් කළ ඉල්ලීමක් සළකා බලමිනි.

මේ අතර නිදන් හාරමින් සිටියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක බව කියන කාන්තාව ඇතුළු සැකකරුවන් හත් දෙනා මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අනුරාධපුර මූලස්ථාන පොලිසියට එහිදී නියෝග කර ඇති ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් විසින් නිදන් වස්තූන් සෙවීමේ අරමුණින් කැනීම් කර ඇති භූමිය පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ භූමිය පිළිබදව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද තවදුරටත්  නියෝග කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයට පත් කර සිටිනුයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳක, අනුරාධපුර ශ්‍රාවස්තිපුර, ගිරාදුරුකෝට්ට්ටේ, කුරුණෑගල යන්තම්පලාව, පදවි ශ්‍රි තිස්සපුර, වරකාපොල, බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.