පාදුක්ක පොලිසියේදී යකා නැටූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්
August 16, 2025 04:02 pm
පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින්ට බැණ තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයා එළැඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම පුද්ගලයා අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව ඇති වූ හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් අනුර හපුආරච්චි මහතා විසින් රෝහලට ගොස් මෙම නියෝගය ලබා දී ඇත.
පාදුක්ක මාවත්ගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටී ඊයේ (15) පස්වරුවේ අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කටයුතු කළ අතර මොටර් රථයද පොලිස් භාරයට ගැණුනි.
කෙසේ වෙතත් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් පාදුක්ක පොලිස් ස්ථානයට පැමිණි සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ සභිකයෙක් පොලිස් නිලධාරින්ට බැන වැදී තිබුණි.
එහිදී පාදුක්ක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදීමට ඔහු උත්සාහ දරා ඇති අතර දැඩි පරිශ්‍රමයක් දරා ඔහුව සිර මැදිරියට ඇතුළු කිරීමට පොලීසිය කටයුතු කළේය.
නමුත් එහිදී තමාට අසනීප බවත් සිර මැදිරියේ රැඳී සිටීමට නොහැකි බවත් පැවසීම හේතුවෙන් පොලිසිය සැකකරුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරිණි.
කෙසේ වෙතත් අදාළ සැකකරු රෝහල තුළ ද කලහකාරි ලෙස හැසීරී තිබේ.
අත්අඩංගුවට පත් මෝටර් රථයේ රියදුරු මෙම සැකකරුගේ හිතවතෙක් වන අතර ඔවුන් දෙදෙනා ඊයේ සවස මත්පැන් පානය කරමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී ඇත.
අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු සීතාවක ප්‍රාදේශිය සභාවේ හිටපු එක්සත් ජතික පක්ෂයේ සභිකයෙකු සහ පසුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් තරුණ කටයුතු ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අයෙකු බව පොලීසිය පැවසුවේය.