ප්‍රමිතිය තහවුරු නොකළ ගෑස් උඳුන් තොගයක් තිබූ ආයතනයක් වටලයි
August 9, 2025 04:10 pm
ආනයනික ලෙස සදහන් කරමින් මෙරට එකලස් කළ ප්‍රමිතිය තහවරු නොකළ ගෑස් උදුන් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.
කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කර විදේශ රටක නිෂ්පාදිත ලෙස සඳහන් කරමින් මෙම ගැසී උඳුන් තොගය වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර ඇත.
ඒ අනුව පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ගෑස් උඳුන් 3,000ක තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් සමන්විත ආයතනයක් පසුගිය 07 වැනිදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වටලා තිබේ.
අදාළ භාණ්ඩ කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කරන බව හා ඊට අවශ්‍ය තවත් කොටස් කිහිපයක් මෙරට විවිධ පුද්ගලයින්ගෙන් ද මිලදී ගන්නා බව එහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පවසා තිබුනද එම කරුණු සනාථ කිරීමට කිසිදු ලේඛනයක් අදාළ ආයතනය විසින් එම අවස්ථාවේදී නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.
එමෙන්ම මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට අනාවරණය වී ඇත්තේ අදාළ ගෑස් උඳුන් බහාලන ඇසුරුම් සහ ඊට අදාළ ලේඛනද දේශීයව සකස් කර මුද්‍රණය කරන බවය.
ශ්‍රී ලංකාවට ගෑස් උදුන් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් කළමනාකරණය කරනු ලබන අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ (CIIS) කොටසක් වන ආනයන පරීක්ෂණ ක්‍රමවේදයකට යටත්වන අතර ඒ මගින්, ගෑස් උදුන් නිශ්චිත තත්ත්ව සහ ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලන බවට සහතික කරනු ලබයි.
එමෙන්ම ඒ මගින් සෞඛ්‍ය, ආරක්ෂාව සහ පාරිසරික බලපෑම වැනි සාධක මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුකූලතාවය තක්සේරු කරන අතර, අදාළ භාණ්ඩ වෙළෙඳපොළට නිදහස් කිරීමට පෙර එම අනුකූලතා සහතික හෝ පරීක්ෂණ අනිවාර්ය වේ.
මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ පරීක්ෂණ මගහරිමින් මෙම එකලස්කිරීම සිදුකරන බවත් ඒ මගින් නිසි ප්‍රමිතියට අනුකූල වන්නේද යන්න සහතික කිරීමකින් තොරව භාණ්ඩ වෙළදපොලට නිකුත්කරනු ලබන බවත් එම මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අදාළ වැටලීම සම්බන්ධව එදිනම මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර අදාළ ගබඩාව මුද්‍රා තබා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට අධිකරණය නියම කර ඇත.