බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු තරුණයින් තිදෙනෙක්ට බරපතළයි

බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු තරුණයින් තිදෙනෙක්ට බරපතළයි

August 8, 2025   10:26 am

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටිය දී වෙඩිවැදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ මෙයින් එක් තරුණයෙකුට ගැඹුරු තුවාල සිදුව ඇති බැවින් මේ වනවිට ඔහුව සැත්කමකට භාජනය කර ඇති බවය.

කෙසේවෙතත් බරපතළ තුවාල ලැබු තිදෙනාම මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

මීට අමතරව තවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේය. 

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තරුණයින් තිදෙනාට ඉදිරියේ දී තවත් සැත්කම්වලට භාජනය කළ යුතුව ඇතැයි ද සඳහන් කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිශ්චිතව මේ වනවිට පැවසිය නොහැකි බව ද සඳහන් කළේය.

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ  ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

ඊයේ රාත්‍රී 8.40ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයින් පස්දෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එහිදී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.

මේ අතර, අවුරුදු 21, 22 සහ 23 යන වයස්වල පසුවන කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.