විදේශිකයින්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම ගැන අනාවරණයක්

විදේශිකයින්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම ගැන අනාවරණයක්

August 6, 2025   08:39 am

අගෝස්තු මස 3 වනදා සිට විදේශිකයින්ට තවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කළ කවුළුව මඟින් මේවන විට විදේශිකයින් 120 දෙනෙකුට බලපත්‍ර ලබා දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

ඔහු පැවසුවේ බර වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා විදේශිකයින්ගෙන් දැඩි ඉල්ලුමක් පැවතින අතර එලෙස එම බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බවය.

"අපි සංචාරක ප්‍රවාර්ධනය සඳහා සහ සංචාරකයින් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට වෙනත් රටවල තියෙනවා වගේම ලංකාවේත් කටුනායක ගුවන්තොටුපොළේ කවුළුවක් විවෘත කරා අගෝස්තු මාසයේ 3 වෙනිදා සිට තාවකාලික බලපත්‍ර ලබාදීම සඳහා. එය පැය 24 පුරාම විවෘතයි. සමහර බලපත්‍ර ඉල්ලුවට අපිට ලබාදෙන්න බෑ. විශේෂයෙන්ම ත්‍රිවිල් සහ බර වාහන ධාවනයට අපි අවසර ලබාදෙන්නේ නෑ. එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. විදේශිකයින්ගේ වීසා කාලය අනුව මාස 2 සිට මාස 5 දක්වා වීසා බලපත්‍රයේ සහ රියදුරු බලපත්‍රයේ වලංගුතාවය මත තාවකාලික බලපත්‍රයක් ලබාදෙනවා. ඊට අමතරව අපි ස්ථීර බලපත්‍රයක් ලබාදෙනවා. ඒක අපි ගුවන්තොටුපොළේ සිදුකරන්නේ නෑ. සුපුරුදු පරිදි ඒක වේරහැර කාර්යාලයෙන් සිදුකරනවා."

නව මෝටර් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් ද කමල් අමරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේය.

"ජනවාරි මාසයේ සිට මේ දක්වා අපි වාහන 133,678ක් මේ වෙද්දි ලියාපදිංචි කරලා තියෙනවා. වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ 100,451ක්ම තියෙන්නේ මෝටර් සයිකල්. ඊළඟට වැඩිම තියෙන්නේ 20,535ක් මෝටර්රථ. ඊට අමතරව ද්විත්ව කාර්ය වාහන, ලොරි සහ ත්‍රිවිල් වගේ වාහන තමා බෙදිලා ගිහින් තියෙන්නේ. අපිට පේන කාර්ය තමා දිනෙන් දින ලියාපදිංචි වෙන ප්‍රමාණය වැඩිවෙනවා."