ශෂීන්ද්‍ර රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

ශෂීන්ද්‍ර රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

August 6, 2025   10:10 am

Update

August 6, 2025   03:10 pm

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව ඒ මහතා අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණි.

-----------------------------------------

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

August 6, 2025   10:10 am

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත.

එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම එම වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපොළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව කොළඹ ප්‍රධාන මහ‍ෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරපිත් කිරීමට නියමිතය.