වත්තල ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

වත්තල ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

August 6, 2025   07:52 am

වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05) දහවල් කාලයේ මෝදර හා වත්තල ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් සහ එක් සැකකරුවෙකු මනුෂ්‍ය ඝාතනයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17, 25 හා 27 වයස්වල පසුවන කොළඹ 15 හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙහිදී සැකකරුවන් සතුව තිබී අපරාධයට යොදා ගත් ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පසුගිය ජුලි 19 වනදා වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණි.

අදාළ පුද්ගලයාගේ දෙමහල් නිවස තුළ දී එම ඝාතනය සිදුකර ඇත.

මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර තිබුණි.

මියගිය පුද්ගලයා 2023 වර්ෂයේ මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.