මිල කළ නොහැකි ප්‍රතිමාවක් ලංකාවට ගෙන ඒමට සැලසුම් කළ ඉන්දියානුවන් දෙදෙනෙක් කොටුවෙයි
August 3, 2025 02:35 pm
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාවට නීති විරෝධීව ගෙන ඒමට තැත් කළ දේව ප්‍රතිමාවක් ඉන්දීය පොලිස් භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ සමග සැකකරුවන් දෙදෙනෙකුද එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
තමිල්නාඩුවේ තුතුකුඩි සිට මෙම දේව ප්‍රතිමාව මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇතැයි එරට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට ලැබුණු රහසිගත තොරතුරක් මත ඊයේ (02) සවස එරට ත්‍රේස්පුරම් හී ඇනා ජනපදයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
එහිදී අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 52 සහ 35 හැවිරිදි වියේ පසුවන්නන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඔවුන් දෙදෙනා සතුව තිබූ ප්‍රතිමාවේ වටිනාකම කෝටි ගණනක් බවත් මෙම දේව ප්‍රතිමාව රන්, රිදී, ඊයම්, යකඩ ඇතුළුව ලෝහ පහක් එකතුවෙන් නිර්මාණය කළ පෞරාණික ප්‍රතිමාවක් බවද විමර්ෂන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ප්‍රතිමාව මෙරටට ගෙන ගොස් පසුව යුරෝපීය රටකට ගෙන යාමට සැලසුම් කර තිබූ බවය.