ක්‍රිකට් පිටිය තහනම්ව සිටි ටේලර්ට ලැබුණු අස්වැසිල්ල

ක්‍රිකට් පිටිය තහනම්ව සිටි ටේලර්ට ලැබුණු අස්වැසිල්ල

July 30, 2025   03:55 pm

වසර 4කට ආසන්න කාලයක් තරග තහනමකට ලක්ව සිටි සිම්බාබ්වේ හිටපු නායක බ්‍රෙන්ඩර් ටේලර් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණවීමට නියමිතව ඇත.

ICC දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ ටේලර් 2022 ජනවාරි මාසයේදී වසර තුනහමාරක කාලයකට තරග තහනමකට ලක්ව සිටියේය.

එම තහනම මෙම මස ඉකුත් 25 වනදා අවසන් විය.

ඒ හේතුවෙන් එළැඹෙන අගෝස්තු 7 වනදා නවසීලන්තයට එරෙහිව බුලවායෝ හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ටේලර් ක්‍රීඩාකිරීමට නියමිතය.

ටේලර්ගේ පැමිණීම තහවුරු කරමින් සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වයින් පවසා සිටියේ, ටේලර් පැහැදිලිවම දෙවන ටෙස්ට් තරගය සඳහා ලබාගත හැකි බවය.

කෙසේ වෙතත් ටේලර්ට පැනවූ තරග තහනමේ කොන්දේසි අනුව ඔහුට කිසිදු ජාතික හෝ දේශීය සංචිතයක් සමග පුහුණු වීමට නොහැකි විය.

ඒ හේතුවෙන් මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන ඔහු කිසිදු ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩාකරන නොමැත.

සිම්බාබ්වේ වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 9,938 රැස්කර ඇති ටේලර්, එරට වැඩිම ජාත්‍යන්තර ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තෙවන ස්ථානයේ රැඳී සිටියි.

ඔහු සියලුම ආකෘති යටතේ ශතක 17ක් වාර්තාකර ඇති අතර, එයද සිම්බාබ්වේ පිතිකරුවෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලබාගෙන ඇති වැඩිම ශතක සංඛ්‍යාව වේ.