ග්‍රීසිය පැතිර යන ලැව්ගිනි පාලනය කිරීමට යුරෝපා සංගමයේ සහාය පතයි

ග්‍රීසිය පැතිර යන ලැව්ගිනි පාලනය කිරීමට යුරෝපා සංගමයේ සහාය පතයි

July 27, 2025   11:30 am

ග්‍රීසියේ හටගෙන ඇති ලැව්ගිනි මැඩ පැවැත්වීම සඳහා සහාය වන ලෙස ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සතියකට ආසන්න කාලයක් පුරාවට මෙම ලැව්ගිනි පැතිර යමින් ඇති අතර පවතින දැඩි සුළං හමුවේ ගින්න පැතිරීමද වේගවත් වී තිබේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය පැය 24ක කාලය තුළ ඇති වූ ගිනි ගැනීම් 52න් 44ක් ගිනි නිවන භටයින් විසින් පාලනය කිරීමට සමත්ව ඇති බවය.

ලැව්ගිනි පැතිර යන ප්‍රදේශ ආශ්‍රිත ගම්මානවල පදිංචිකරුවන් වහාම එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ග්‍රීසියේ මාධ්‍ය වාර්තා කර තිබේ.

තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යන ප්‍රදේශ ආශ්‍රිතව නිවාස සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇතැයිද ඇතැම් නිවාස ගිනි ගෙන විනාශ වී ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද වාර්තා කර තිබේ.

එමෙන්ම ග්‍රීසියේ මේ වන විට පවතින අධික උණුසුම් කාලගුණය සහ දැඩි සුළං හේතුවෙන් ලැව් ගිනි පැතිර යාම වේගවත් වී ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා එරට බලධාරීන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවද වාර්තා වේ.