කඩොලාන වනාන්තර 08 ක් රක්ෂිත බවට පත් කෙරේ
July 21, 2025 08:33 pm
ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එළැඹෙන ජූලි 26 වැනි දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ දිනය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ලංකාවේ දැනට ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතවය.
ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන් හී කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට ලංකාවේ කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී තිබේ.
වෙරළ සංරක්ෂණය උදෙසා ස්වභාවික බාධකයක් ලෙස කඩොලාන පිහිටන අතර වෙරළ ඛාදනය සහ භූමිහායනය වැළැක්වීමට මෙයට හැකියාව තිබේ.
එමෙන්ම ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස කඩොලාන පරිසර පද්ධති නම් කර ඇති අතර විශාල ප්‍රදේශයක ව්‍යාප්තව ඇති කඩොලාන පරිසර පද්ධති විවිධ සත්ව හා ශාකවල වාස භූමිද වේ.
තවද කුඩා මසුන් විශේෂ ගණනාවක් කුඩා කාලය සහ තරුණ කාලය ගත කිරීම සඳහා කඩොලාන පරිසර පද්ධති භාවිත කරන බවට මේ වන විට පර්යේෂණ මගින්ද වාර්තා වී තිබේ.
පරිසර අමාත්‍යාංශය විසින් කඩොලාන වනාන්තර ලෙස නම් කර ඇති මෙම වනාන්තර 08 පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව පිහිටා ඇති අතර මරම්බැට්ටිය මූකලාන, මරම්බැට්ටිය මූකලාන, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල, කරුකපනේ B යන කඩොලාන වනාන්තර මෙලෙස කඩොලාන වනාන්තර රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම කඩොලාන රක්ෂිත සම්බන්ධව අද (21) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා,
"අපි මේ කඩොලාන දිනය නිමිති කරගෙන මේ වසරේ වැඩසටහන් දෙකක් සංවිධානය කරලා තිබෙනවා. එකක් ජූලි මාසේ 26 වැනිදා පෙරවරු 8.30ට ආනවිලුන්දාව අභය භූමියේදී වනජීවි සංරක්ෂණ ඒකකය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකයත් සම්බන්ධවෙලා කඩොලාන සංරක්ෂණය සම්බන්ධයෙන් කඩොලාන දිනය සැමරීම සඳහා වැඩසටහනක් සංවිධානය කරනවා. ඊට පසු පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව එදිනම පාලවිය කඩොලාන වනාන්තරයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන්න ඒ සඳහා නියමිත ගැසට් පත්‍ර අත්සන් කරන්න කටයුතු කරනවා."