රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම පාර්ලිමේන්තු කාරක සභා විසින් පරීක්ෂා කළ හැකියි - හිටපු විගණකාධිපති
July 21, 2025 02:53 pm
රාජ්‍ය නිලධාරීන්ට පවරා ඇති වගකීම්වලට අදාළව ඔවුන්ගේ වගවීම පාර්ලිමේන්තු කාරක සභා විසින් පරීක්ෂා කළ හැකි බව හිටපු විගණකාධිපති CoPE සහ CoPA හි හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක එස්.සී. මායාදුන්නේ මහතා පවසයි.
මායාදුන්නේ මහතාගේ සම්පත් දායකත්වය යටතේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේසහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ක්‍රියාකාරීත්වයට අදාළව විධායකයේ කාර්ය භාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ අරමුණින් පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ වැඩමුළුවකදී ඒ මහතා මේ බව පැවසීය.
කෝප් සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සහ කෝප් සභාපති අරවින්ද සෙනරත් යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් සහ මෙම කාරක සභාවල අධීක්ෂණය යටතේ ඇති රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහභාගී විය.
මෙහිදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන අධීක්ෂණ කාරක සභා දෙකක් වන CoPE සහ CoPA හි ව්‍යුහය, බලතල, භූමිකාවන් සහ වගකීම් පිළිබඳව එස්.සී. මායාදුන්නේ මහතා කරුණු පැහැදිළි කළ අතර, එහි කාර්යය විනිවිදබවින් යුතුව සහ ඵලදායී පාලනයකට දායක වන ආකාරය පෙන්වා දුන්නේය.
රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවේ කාරක සභා ඉදිරියේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන විට, ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් අදාළත්වයෙන් යුතුව නිවැරදිව හා සම්පූර්ණ ලෙස තාර්කිකව ඉදිරිපත් කිරීමේ වැදගත්කම මායාදුන්නේ ඔහු පෙන්වා දුන් අතර, එසේම එම කරුණු තේරුම් ගත හැකිවන පරිදි සරලව, ආචාරශීලීව හා නිසි ගෞරවයෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ද මායාදුන්නේ මහතා මෙහිදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තු අධීක්ෂණ කටයුතුවල ප්‍රධාන අරමුණ වන්නේ පාර්ලිමේන්තුවට විධායකයේ වගවීම තහවුරු කිරීමට සහාය වීම බව ඔහු අවධාරණය කළේය.
එබැවින්, රාජ්‍ය නිලධාරීන් ඊට අදාළ ක්‍රියාවලීන් සහ ක්‍රියා පටිපාටි පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් විය යුතු බවත් ව්‍යවස්ථාදායකය විසින් කරුණු විමසා සිටින විට ඊට පිළිතුරු ලබාදීමට සූදානම් විය යුතු බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම වැඩමුළුවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී. ධර්මපාල, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහ රාජ්‍ය ආයතනවල ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.