ඉන්දුනීසියාවට ට්‍රම්ප්ගෙන් තීරු බදු සහනයක්
සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවට ට්‍රම්ප්ගෙන් තීරු බදු සහනයක්

July 16, 2025   08:21 am

ඉන්දුනීසියාව මත පැනවූ 32%ක අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 19%ක් දක්වා පහත හෙළීමට අමෙරිකාව තීරණය කර තිබේ.

සිය ටෘෘත් සෝෂල් සමාජ අඩවියේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේ, ඉන්දුනීසියාව සමඟ ඇතිකරගත් වෙළෙඳ ගිවිසුමකට අනුව මේ තීන්දුව ගත් බවය.

ඒ යටතේ සිය රටට, ඉන්දුනීසියාව සඳහා පූර්ණ පිවිසුමක් හිමිවන බවට ට්‍රම්ප් පවසා තිබේ.

නව ගිවිසුම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 15ක අමෙරිකානු බලශක්තිය, අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක අමෙරිකානු කෘෂි කාර්මික නිෂ්පාදන සහ බෝයිං සමාගමේ යානා 50ක් මිලදී ගැනීමට ඉන්දුනිසියාව එකඟ වූ බවත් ජනාධිපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි.

එමෙන්ම එහිදී අමෙරිකානු භාණ්ඩ මත පනවා ඇති බදු ඉවත් කරගැනීමට ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රභාවෝ සුබියන්තෝ එකඟ වූ බවත් ට්‍රම්ප් පවසා තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ඉන්දුනීසියාව තවමත් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

තඹ කර්මාන්තයේ ප්‍රකට ඉන්දුනීසියාව ගෙවුණු වසර තුළ පමණක් අමෙරිකාවට අපනයනය කළ තඹවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 20කි.

කෙසේ නමුත් තඹ ආනයන මත අමෙරිකාව පැනවූ සියයට 50ක තීරුබදු හේතුවෙන් එම කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

නව ගිවිසුම යටතේ ඉන්දුනීසියානු තඹ මත පැනවූ තීරුබදු ද පහත හෙළනු ඇතැයි අපේක්ෂිතයි.