සජබ - මාලිමාව එක්ව පිහිට වූ බේරුවල නගර සභාව ගැන ඇමති නලින්ද කියුදේ 

සජබ - මාලිමාව එක්ව පිහිට වූ බේරුවල නගර සභාව ගැන ඇමති නලින්ද කියුදේ 

July 15, 2025   01:20 pm

බේරුවල නගර සභාවේ නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදි සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගය එක්ව කටයුතු කිරීම සම්බන්ධව අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ බේරුවල ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදි සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 43න් දෙනෙකුගෙන් 10 දෙනෙකු පමණක් සිටියදී බලය පිහිටවූ බවත් එහිදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙලම බේරුවල නගර සභාව පිහිටුවීමේදි අදාළ පක්ෂ දෙක විසින් අනුගමනය කළ බවය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"බේරුවල නගර සභාවේදි අපේ තුන්දෙනෙක් ඉන්නවා අපේ කෙනෙක් අපේ නම යෝජනා කළා, ස්ථීර කළා. ඉතිං අර මන්ත්‍රී කණ්ඩායමේ කොටසක් අපිට ඡන්දය ලබා දුන්නා. සමහරවිට ඒ කට්ටිය නොදුන්නානම් අර කට්ටිය අපිට දෙන්නත් ඉඩ තිබුණා. ප්‍රාදේශීය සභාවේදී 43න් 10ක් තියාගෙන සජබ ඒ මන්ත්‍රීවරු ගන්න මොකක් හරි අනුගමනය කරානේ...නේද..කරානේ.... ඒ වැඩේම තමයි අපිත් කරේ..."

අධිකරණ නියෝගයක් මත කල් තැබුණු බේරුවල නගර සභාවේ මංගල රැස්වීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පැවැත්විණි.

එහිදී සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම විවෘත ඡන්දයක් ලෙස පැවැත්වීමට බහුතර කැමැත්ත හිමිවිය.

ඒ අනුව පැවැති විවෘත ඡන්දයේදී සමගි ජන බලවේගයේ සභිකයින් 6 දෙනාගේ සහාය මාලිමාවට හිමිවූ අතර එහිදී බේරුවල නගර සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට හිමිවූ අතර උප සභාපති ධුරය සමගි ජන බලවේගයට හිමි විය.

බේරුවල නගර සභාවේ සමස්ත සභික ධුර ගණන 16න් සභික ධුර 07ක් ස්වාධීන කණ්ඩායම් 1 දිනා ගත් අතර සමගි ජන බලවේගය සභික ධුර 06ක් සහ ජාතික ජන බලවේගය සභික ධුර 03ක් දිනා ගනු ලැබීය.