ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

July 15, 2025   05:54 pm

ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං, ඉන්දියාවේ දී මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇත.

 මිය යන විට ඔහුගේ වයස අවුරුදු 114 කි.

පන්ජාබ්හි මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් සිංගේ ගැටී ඇති බව පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් ඔහුව රෝහලට ගෙන ගිය ද ඒ වන විටත් ඔහු මිය ගොස් අති බව වාර්තා වල සඳහන් වේ.

ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වීමත් සමඟ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ඔහුව "ඇදහිය නොහැකි අධිෂ්ඨානයක් සහිත සුවිශේෂී ක්‍රීඩකයෙකු" ලෙස හැඳින්වීය.

ෆවුජා සිං වයස අවුරුදු 100 ඉක්මවූ සහ විවිධ වයස් කාණ්ඩ හරහා මැරතන් ධාවනය කිරීමෙන් වාර්තා පිහිටුවා ඇති අයෙකි.

1990 දශකයේ මුල් භාගයේදී ඔහුගේ බිරිඳ ගියන් කෞර්ගේ මරණයෙන් පසු, ඔහු තම වැඩිමහල් පුත් සුක්ජින්දර් සමඟ ජීවත් වීමට ලන්ඩනයට ගොස් ඇත.

එහිදී එක් දිනක් සිං ට දුවන වැඩිහිටි පිරිමින් පිරිසක් මුණගැසී ඇති අතර එහිදී  ඔහුගේ පුහුණුකරු වන හර්මන්දර් සිං ද හමු වී ඇති බව සඳහන් වේ.

මේ අනුව, ඔහු සිය ධාවන කටයුතු ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 89 දී බව සඳහන් වේ.

2000 සහ 2013 වසර අතර කාලය තුළ ඔහු මැරතන් තරඟ නවයකට සහභාගී වී තිබේ.

සිං 2000 දී ලන්ඩන් මැරතන් තරඟයට සහභාගි වී ඇත්තේ ඔහුට වයස අවුරුදු 89 ට මාසයකට පෙරය. 

ඔහු පැය 06ක් සහ මිනිත්තු 54 කින් තරඟය අවසන් කළ අතර, එය කැපී පෙනෙන ගමනක ආරම්භය සනිටුහන් කළේය.

2003 දී,ටොරොන්ටෝ වෝටර්ෆ්‍රන්ට් මැරතන් තරඟයේදී, පැය එකයි මිනිත්තු පහකින් ඔහුගේ කාලය විශ්මයජනක ලෙස අඩුකර ගනිමින්, පැය 05යි මිනිත්තු 40 කින් තරඟය නිමකර තිබුණි.

ඉන් පසුව 2003 දී ඇඩීඩාස් ඔවුන්ගේ Nothing Is Impossible වෙළඳ දැන්වීම් ව්‍යාපාරය සඳහා ඔහුව අත්සන් කළ විට සිං ජාත්‍යන්තර කීර්තියට පත්විය.

2005 දී, එවකට පකිස්තාන අගමැති විසින් ඔහුට ලාහෝර් ආරම්භක මැරතන් තරඟයට සහභාගී වීමට ආරාධනා කර තිබේ.

වසරකට පසුව, 2006 දී, බකිංහැම් මාලිගය නැරඹීමට ද ඔහුට දෙවන එලිසබෙත් රැජිනගෙන් විශේෂ ආරාධනයක් ලැබී ඇත.

ඔහු වයස අවුරුදු 100 පසු වූ පසුත් මැරතන් තරඟ දිගටම කරගෙන ගිය අතර එහිදී ඔහුට “Turbaned Tornado” යන අන්වර්ථ නාමය ද හිමි විය.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා පන්දම් දරන්නා වූ සිං, ඔහුගේ ධාවන දිවිය තුළ සන්ධිස්ථාන කිහිපයක් වාර්තා කළ අතර, 2011 දී ටොරොන්ටෝ හි සම්පූර්ණ මැරතන් තරඟයක් සම්පූර්ණ කළ පළමු වසර 100ය සපිරුණු ක්‍රීඩකයා ලෙස වාර්තා වේ.

2013 දී, ඔහු හොංකොං හි ඔහුගේ අවසන් දිගු දුර තරඟකාරී තරඟයට සහභාගී වූ අතර, පැයයි මිනිත්තු 32ක් සහ තත්පර 28 කින් කිලෝමීටර් 10 ක දිවීමක් සම්පූර්ණ කිරීමට සමත් විය.

කෙසේ වෙතත්, ලොව වයස්ගතම මැරතන් ධාවකයා බවට ඔහුගේ ප්‍රකාශය ගිනස් ලෝක වාර්තා විසින් පිළිගනු ලැබුවේ නැත.

ඒ  ඔහුට 1911 වසරේ දී උපන් බවට උප්පැන්න සහතිකයක් පෙන්වීමට නොහැකි වීම මතය. 

නමුත් සිංගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ ඔහුගේ උපන් දිනය 1911 අප්‍රේල් 1 ලෙස දක්වා ඇත.

කෙසේවෙතත් ඔහුගේ 100 වන උපන්දිනයට ඔහුට සුබ පතමින් රැජිනගෙන් ලිපියක් ඇති බව වාර්තා වේ.

සිං ඉපදුණු අවස්ථාවේ ඉන්දියාවේ උප්පැන්න සහතික ලබා දී නොතිබූ බව වාර්තා වේ.

ඔහුගේ දිවියේ පළමු කාළයේ ගොවියෙකු වූ සිං කිසිදිනක පාසල් ගොස් නොමැති අතර ඔහු පවසා ඇත්තේ “මගේ තරුණ අවධියේදී, ‘මැරතන්’යන වචනය ද දැන සිටියේ නොමැති බවය.