සීතාවකට අදත් සභාපතිවරයෙකු නෑ - විපක්ෂය සභාවෙන් පිටව යයි

සීතාවකට අදත් සභාපතිවරයෙකු නෑ - විපක්ෂය සභාවෙන් පිටව යයි

July 15, 2025   11:02 am

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උපසභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පැවැත් වූ ඡන්ද විමසීම අද (15) දින දෙවනි වරටත් දින නියමයක් නොමැතිව කල්තැබීමට බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය කටයුතු කර තිබේ.

ඒ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය ඝන පූරණය සභාවේ නොමැති වීම නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් වූ පළමුවරට ඡන්ද විමසීම පසුගිය ජුනි මස 17 දින සිදුකළ අවස්ථාවේදී ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඝන පූර්ණය නොමැති වීමෙන් නැවත ඡන්ද විමසීම අද (15) දින දක්වා කල් තැබීමට සිදුවිය.

ඒ අනුව දෙවැනි වරටත් සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (15) දින සීතාවක ප්‍රාදේශීය සභාවේ දී උදෑසන 9.30 ට ආරම්භ විය.

එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් චන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදී එක් පාර්ශවයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශවයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් යෝජනා ස්ථිර කරන ලදී.

ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති බැවින් සභාපතිවරයා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් වශයෙන් පැවැත්වීම කටයුතු කළ අතර එහිදී සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා වූ අදාළ ඡන්ද විමසීම ප්‍රථමයෙන්ම සිදු විය.

එහිදී විවෘත ඡන්දයක් පැවැත්වීම සඳහා කැමැත්ත පළ කරමින් ඡන්ද 23 ක් සහ රහස් ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළ කරමින් ඡන්ද 24 ක් ද ලැබී තිබෙන බව බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය සභාව වෙත දැනුම් දුන්නාය.

එම අවස්ථාවේදී  නැගී සිටි සමගි ජනි බලවේගය නියෝජනය කරන සභිකයකු සභාපතිවරයා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම සඳහා රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව සාමාජිකයන් සිටින බැවින් රහස් ඡන්දයක් පැවැත්වීමට විරුද්ධව ඡන්දය භාවිතා කළ සභිකයන් කණ්ඩායම සභාවෙන් ඉවත්වන බව පවසා එම පිරිස සභාවෙන් පිටව යන ලදී.

ඉන් අනතුරුව සභාවේ සිටි පිරිස ගණනය කිරීමෙන් පසු ඝන පූර්ණය සඳහා අවශ්‍ය සභිකයින් ගණන නොමැති බැවින් සභාව විනාඩි දහයකට කල් තැබීමට කොමසාරිස්වරිය  කටයුතු කළාය.

එම විනාඩි දහයෙන් අනතුරුව නැවත සභාව රැස්වී ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඝන පුරණය නොමැති බැවින් දින නියමයක් නොමැතිව සභාව කල්තැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළාය.

අනතුරුව විපක්ෂය නියෝජනය කළ සභිකයින් පිරිස එක් තැනකට රැස්වී රහස් ඡන්දයේදී පාවාදීම සිදුකළ පුද්ගලයාට දෝශාරෝපණය කරන අයුරුද දක්නට ලැබුණි.